නොනිමි එක ....පුංචි පහේ මං.....
අම්මා නිවාඩුව පටන් ගත්ත ගමන් අයියට කියලා මාව දියතලාව ඇරලවන්න...... හොදද?
ගිය නිවාඩුවත් විභාගේ නිසා මට නැති වුණා.
අනේ මන්ද පුතේ ඔයාට මේ හැදිලා තියන පිස්සුව..... ඔයාට පුලුවන්ද රීටා පුංචි අම්මගේ නීති එක්ක එහෙ ගිහිං තනියම ඉන්න....
අම්මා මම දුව වුනත් මට කියන්නේ පුතා කියලා...... අම්මා ඔයා දන්නේ නැහැ අම්මා, එහෙ තියන ෆන් එකත් ඒකමයි..... මම ආසයි රීටා පුංචි අම්මා එක්ක හැන්ඟි මුත්තම් කරන්න....
රීටා පුංචි අම්මා අපේ සීයාගේ සොයුරියකි..... ඉන්ගලන්ත්යේ දිගු කාලයක් වාසය කොට.... ඇය තම නිවාස කොට ගත්තේ අපේ දියතලාවේ ” ඩ්රීම් හවුස්”ය..... ඇය එම නිවසේ අයිති කාරියයි. නමුත් අපි අපේ ආච්චිඅම්මා සහ සීයා සමග දිගු කාලයක් ඇය නැතිව එම සිහින නිවසෙහි ජිවත් වුනෙමු.
එය පවුල් හතරකට පහකට ජිවත් විය හැකි ඉංග්රීසසි තාලයට සැදු කළු ගල් බිත්ති වලින් සමන්විත විශාල නිවසකි. අපේ නිවාඩු නිකේතනය එයයි.... අම්මාගේ සොයුරියන් හතර දෙනාම තම දරුවන් සමග නිවාඩුව ගත කරන්නට එහෙට එති . විශේෂයෙන් අවුරුදු නිවාඩු කාලය....
අපේ සීයයි ආච්චිඅම්මා අපි ගාවට පැමිණ , රීටා පුංචි අම්මා එහි පදිංචි වුවාට පසු එහෙ කවුරු හෝ ගියේ අත්යසවශ්‍යම කාරණයකට විතරයි. රීටා පුංචි අම්මා හොද ඉන්ගලන්ත්යටය මෙහෙට ඇය ගැලපෙන්නෙම නැත. නීති රිතී මාලාව වට කරගත් ඉතාම ප්රියමනාප පෙනුමැති අවිවාහක කාන්තාවක් වූ පුංචි අම්මා අපේ ආච්චිඅම්මා වුවත් අපි පුංචි අම්මා කීවෙමු. ඒ ඇය ලාබාල බව හැගවීමට අප ලවා කියවා ගත් නිසාය
අපේ අම්මලා එයාට නන්දා කිව්වා , අපි පුංචි අම්මා කිව්වා. අපේ ආමන්ත්රයණයට අනුව ඇය අපේ අම්මගේ නංගි වැනිය... ඒ මොන දේ වුනත් මගේ සිහින නිවහනට මම කවදත් ප්රිය කලෙමි..... පුංචි අම්මගේ නීති රීති වලින් ගැලවී මගේ ලෝකයේ සැරි සරන්නට මම ක්රම සහ විධි දැන සිටියෙමි.....
මගේ නිදහස පමණක්ම නොව, සිහින නිවසේ හොල්මන් ඉන්න බවට පැතිරුණු කතාවත් මට එහෙ යාමට තිබු විශේෂ කැමැත්තෙන් එකකි..... කවදා හෝ හොල්මනක් මගේ ඉදිරියට එතැයි මම බලාපොරොත්තුවෙන් සිටියෙමි
ඔයා එනවා කියලා දැන ගත්තම හොල්මන් පැනල යනවා නංගි ....අයියා මාව හැමදාම බයිට් කලා.... එත් මම නෙමේ බලාපරොත්තු නැති කරගත්තේ. මට එහෙ වෙනම කාමරයක් තිබුනත් පුංචිඅම්මා රෑට එයාගේ කාමරයට මට අඬගසයි. නිදා ගැනීමට පෙර තම කාමරය පිරිත් නුල් වලින් වට කරන රීටා පුංචි අම්මා,
මට කියන්නේ වැඩි ආරක්ෂාවට එසේ කරණ බවයි. තව මොනවදෝ මොනවදෝ වට්ටියක් උඩ තබයි.
බුදුන් වැඳ පිරිත් පොත කොට්ටය යට තබයි. මම මේවට බොහෝ කැමතිය . අදනම් මට සද්දයක්වත් ඇසෙනු ඇති යන බලාපොරොත්තුවෙන් මම හැමදාම එහෙදි නින්දට වැටුණු නමුත්.... මා සොයා පැමිණි හොල්මනක්නම් නොවුනි.
නැගිටින්න කන්න බොන්න ඇවිදින්න වියායාම කරන්න ටීවී බලන්න හැම දේටම වෙලාවක් තිබුණි.
හින්දි ෆිල්ම් නාට්ටි තහනම්. නිව්ස් ක්රිකට් තරග ඔකේ. ගෙදර වැඩට ඉන්න මෙහෙකරුවන්ගෙන් ඇය හාමු ලෙස ඇමතුම් ලැබිය. අපිට ඔවුන් සමග සුහද වීම තහනම්ය.
මම ඇගේ සුවච කීකරු දියණියයි.... ඒ ඇය ඉදිරිපිට. නැති තැන මගේ විදිය දන්නවනම් මට ඩ්රීටම් හවුස් හි පස් පාගන්නටවත් දෙයිද මන්දා.
මගේ වාසනාවට පුංචි අම්මා දහවල් බත් කා පැය දෙක තුනක් නිදයි. එමෙන්ම ඇය සමිති සමාගම් වල රැස්වීම් වලට යාමට හවස් වරුව යොදා ගනී. මම නිදහසේ කිරුළු දරන්නේ එවිටය.
ඩ්රීම් හවුස් හි ඇති ලොකු පොත් කාමරය මගේ අනිත් අසාවයි. එකදු සිංහල පොතක් එහි නැතිමුත් මට කියවීමට අප්රමාණ පොත් කන්දරාවක් තිබුණි. මම එහි යෑම පුංචි අම්මා අකමැති වුනත්.... මම ඇයට අවනත වුනේ නැත. අවසානයේ මට ගන්නා පොත් පිළිවෙලට තබන්නට පමණක් අණ ලැබුණි.
මේ හැම දේකටම වඩා කඳු වළල්ලෙන් වටවුණු දියතලාවේ මට මගේ ජිවන සුවඳ දැනුණි
නොනිමි දෙක.. මගේ නිවාඩු කාලෙ....
මම අපේ ගෙදර බඩපිස්සී..... පිස්සියක්ම තමයි.... කියලා අම්මා කියන්නේ.... පොඩිකාලේ මං දියතලාව යන්න නිවාඩුවක් එනකම් හිටිය එකනම් සාධාරණයි. එත් දැන්නම් තනියම එහෙ දුවන්නේ පිස්සුවකට කියලා අම්මා හිනා වෙනවා. අම්මා වැරදි නැහැ. මටත් මං ගැනම එහෙම හිතෙනවා. එත් මට පැහැදිලි උත්තරයක් තිබුනේ නැහැ.
මං හිතුවේ ඒ පරිසරයට මම අසීමිතව ආදරය කලා කියලා......
පුතේ ඔන්න අයියා කියනවා මාසේ මැදක් වෙනකම් එයාට දවසක් නැහැල්ලු ඔයාව දියතලාවේ ඇරලන්න.
අයියාට මං උදව්ව්වක් ඉල්ලුවොත් තමයි බැරි අම්මා..... හැමදාම එහෙමයි.... මම තනියම යන්නම්....99 බස් එකට ඇරලන්න කියන්න අම්මා....
අපි රන්ජිව අයියට කියමු ඔයාව ඇරලන්න කියලා... එයානම් එක පයින් එයි....
ඔන්න ඉතින් අම්මා ඔයා ..... මම එයාට කැමති නැහැ... මම් විදේශ කුමන්ත්ර ණ වලට හසු නොවෙමි.
රන්ජිව කියන්නේ අපේ තාත්තගේ හොදම යාළුවගේ පුතාය. අපේ පවුල් දෙක අතර මිතුදම නෑ කමකට පෙරලා ගන්න රන්ජිව අයියත් මාත් අතර විවාහය සුදුසු බව ගෝත්‍රික අදහසක් ඇත.
රන්ජිව අයියනම් මට කවදත් කැමැතිය... මාත් පොඩිකාලේ ඉදන් රන්ජිව අයියා සමග සෙල්ලම් කල බැව් සැබෑය.
නමුත් මේ විවාහය පිලිබඳ අදහස මගේ කණට වැටුණු දවසේ ඉදල මම ඔහුව මග අරින්නට පටන් ගත්තා
අපි දියතලාව යන බොහෝ විට තාත්තගේ යාළුවගේ පවුලත් අපට එකතු විය. එහෙදි අපි සෙල්ලම් කරන විට මාව අයියගේ හොරකම් වලින් ආරක්ෂා කර ගත්තේ රන්ජිව අයියා විසිනි... මොනොපොලි සෙල්ලම් කරන විට මගේ අයියට බැංකුව බාර දිය නොහැක.... කුමණ ආකාරයෙන්ම හෝ දිනීම ඔහුගේ පරමාර්ථයයි. ඉතින් මං මගේ අයියට විරුධව සටන් වැදුනේ රන්ජිව අයියත් සමග. ඉතින් අපි හොද මිතුරන් වීමු...
අනිත් කරුණ වුයේ මගේ ලොකු අම්මගේ පුතාල දෙනාත් අක්කත් මට වඩා ගොඩක් වැඩිමල් විමයි. පුංචි අම්මලගේ දරුවන් මට වඩා කුඩාවිමයි. මට සෙල්ලම් කරන්න කවුරුත් නොසිටීමය.
මගේ අයියා ලොකු අයියල දෙන්න එක්ක සෙල්ලම් කරන විට මාව ඔවුන්ට ඇණයක් විය. මාව කපා දාන්නටම බලයි. රන්ජිව අයියා එවිට මා සමග සෙල්ලමට ආවේය... පොඩි කාලයේ මා දැන සිටියේ කාර්ඩ් කුට්ටමෙන් බිග් නොම්බර්ස් නම් සෙල්ලම විතරයි. මා එයා සෙල්ලම් කිරීමට කතා කලවිට ඉදිරිපත් වුනේ රන්ජිව අයියා පමණි.
හාවා හඳ දකින්නවගේ දවසක අනිත් අය ඊට එකතු විය. මගේ ඉහේ මලක් පිපුනා වගේ දැනෙන්නේ එවිටය. අවසාන වන්නේ රණ්ඩුවකින් පසුව මා හැඬ වීමෙනි. මම ගෙදර කඳුළු බින්දුව විය. අයියල ලොකු අම්මගෙන් හෝ ආච්චි අම්මගෙන් බැනුම් අසයි. එත් ඔවුන්ට එය විනෝදයකි. මා මේ කියන කාලයේ මගේ වයස අවුරුදු හයටනම් වැඩි නැත. අයියල දෙන්නා 15වක් හෝ 16කි. මගේ අයියා මට වඩා අවුරුදු 4කින් වැඩිමල්ය. රන්ජිව අයියා දේකකින්ය.
ඩ්රීිම් හවුස් එකේ අපි පොඩි කාලේ යනවිට රීටා පුංචි අම්මා සිටියේ රට නිසා. අපට එය රජ දහනක්ම වුණි. මා මේ කියන කාලයේ මගේ ලෝකයේ වීරයා වී සිටියේ හින්දි සිනමාවේ අමිතා බච්ච්න්ය. ලොකු අම්මත් ඔහුට කැමති නිසා මහප්පා අමිතාබ් ගේ ෆිල්ම් ඕනෑතරම් ඒවා තිබුණි. (මහප්පාද සිටියේ රටය) අපිට තිබුනේ නිවාඩුවට ගොස් ඒවා බැලීම පමණි. හැබැයි මං අමිතාබ් මැරෙන ඒවා බලන්නට අකමැතිය. මට ඊට පෙර සුදානමක් තිබිය යුතුය. ඉතින් බොහෝ විට ලොකු අයියල දෙන්න අපි එහි යනවිට ඒ ෆිල්ම් බලා අවසානය. ඉතින් මං ඔවුන් දෙන්නගෙන් කතාවේ අවසානය ඔවුන්ගෙන් අසා පෙර සුදානමකින් ෆිල්ම් එක බලමි. මට පෙර සුදානමක් අවශ්ය් වුයේ අමිතාබ්ගේ මරණයේදී නොහඬ ඉන්නයි. මං අඩනවිට හිනාවෙන්නට අයියලා බලන් ඉන්නවා.
එත් අයියල දෙන්නා වරක් දෙවරක් හරි අවසානය කියා පසුව හැමදාම බොරු කියන්නට පුරුදුව සිටියා .... අවසානය මාරු කර එනම් මැරෙන ඒවාට නොමරෙනවා කියලත් නොමැරෙන ඒවාට මැරෙනවා කියලත්. මගේ පැත්තේ හිටියේ රන්ජිව අයියා පමණි . ඉතින් මන් ඔහුට නිරායාසයෙන්ම කැමති විය. එහෙත් මේ විවාහ හුටපටය නිසා මං ඔහුව පසු කාලයේදී උවමනාවෙන්ම මග හැරියෙමි.
ගිලෙන්න යන මිනිහට පිදුරු ගහත් වටි. ඒ සංකල්පයේ සිට මම අම්මාට රන්ජිව අයියට හැකි දවසක මාව දියතලාවේ හැකි ඉක්මනින් ඇරලන්න පුලුවන්ද කියා අසන්නට අනුමැතිය දුනිමි
රීටා පුංචි අම්මා මා එනතුරු අසාවෙන් බලන් සිටී. ඇයගේ නීති රීති වැටෙන්නේ ගිහිං දවස් දෙක තුනකට පසුව පමණි. ඒ නිසා අපේ නෑදෑයෝ කියන්නේ දවස් තුනකට ඉන්න හොද තානායමක් කියා ඩ්රීගම් හවුස් එක. තුන් වෙනි දවසේ පිටත් නොවුනෝතින් ඇයගේ දණ්ඩ නීති වලට යටත් වීමට සිදුවේ. ඉතින් හිත හොදින් සිටීමටනම් එහෙන් පිට විය යුතුය.
රීටා පුංචි අම්මගේ යාලුවෙකුගේ ගෙදරක් මගේ බොහෝ සිත් ගත්තාය. ඒ එම නිවස අලංකාරයට නිවස වටා ලස්සනට තේ වවා තිබීමයි. අපි පොඩි කාලයේ ඒ ගෙදර සිටි අයියා මට තෑගි දුන් මගේ හිතවතෙකි. ඉතින් ඒ නිවසට යාමටත් ඒ තේ වත්තේ සැරි සැරිමත් ජෑම් පෙර කඩා කෑමත් මගේ දින චරියාවේ අංගයකි. ඇය නිදා ගන්නා කාලයේදී මම එහෙට ගියෙමි.
රන්ජිව අයියගේ දැනුම් දීමෙන් තව දවස් දෙකකින් උදාවෙන ඉරු දින දියතලාව යන්නට මම සුදානම් වුනෙමි.

නොනිමි තුන ....ජීවිතය රැදී මාවතේ.
ඉරිදා උදේ නමය දහය වෙනකොට මාව ගෙනියන්න එනවා කිව්ව රන්ජිව අයියා දවල් දොලහ වෙනකොටත් මාව ගෙනියන්න ආවේ නැහැ....
කෝල් දුන්නට කතා කරන්නෙත් නැහැ.... “ ඔබ ඇමතු අංකයෙන් ප්රයතිචාරයක් නොමැත”.... මට ඒක අහලම ඇති වුණා. බැරිම තැන මන් ඇදුම් මාරු කරලා දවල්ට බත් කාල තරහින්ම නින්දක් දාන්න ගියා. මට හැම දේකටම වඩා තරහ අම්මා රන්ජිව අයියට කරදරයක්ද දන්නේ නැහැ කියලා විස්සෝප වෙන එකට... රන්ජිව අයියගේ අම්මලත් ඒ වෙනකොට ලංකාවේ හිටියේ නැහැ අපේ අම්මට තොරතුරක් දැන ගන්න.
රන්ජිව අයියට පොඩි හෝ කැමැත්තක් තිබුනානම් එකටත් කේන්තියෙන් සහ වෙලාවට වැඩ කරන්න බැරි කොල්ලෙක් මං බදින්නෙමනම් නැහැ කියලා හිතා ගත්තා.... තරහත් දියතලාව යන්න බැරිවෙන දුකත් මැද්දේ මට නින්ද ගියා...
දවල් හීනයක් වුනාට මම ඒක දැක්කේ ඇත්තට..... හීනය පැහැදිලි නැහැ මට.... මීට කළින් දැකල තිබුන හීනෙකුත් නෙවෙයි....එත් මට අමුතු බරක් හිතට දැනුනා....මේක හීනයක්ද මම ඇත්තටම දැක්ක දෙයක්ද කියලා මට වෙන් කරගන්න බැරි අන්දමන්ද මොහොතක ඉන්නකොට රන්ජිව අයියගේ කාරය අපේ ගේ මිදුළ ඉස්සරහ නවත්වන ශබ්දය ඇසී පියවි ලෝකයට ආවා. ඒ වෙනකොට වෙලාව හරියටම දෙකහ මාරයි. අම්මත් නින්දට ගිහිං තිබුනේ
සේල්ස් මීටීමක් දිගින් දිගට ඇදුන කියලා නිදහසට කරුණු කරනා කිව්ව රන්ජිව අයියා... මගේ අනේක බැනුම් අවසානයේදී , අම්මා අවසර දෙනවනම් හවසම හරි දියතලාව ගෙනියනම් කියලා අන්තිමට කිව්වා.
අපේ ගෙදර ගොඩක් තීරණ ගන්නේ අම්මා. තාත්තා නොගන්නා තරම්.... අම්මා ගන්න තීරණ අපිට සුළු වශයෙන් වෙනස් කිරීමේ හැකියාව තිබුණි. තාත්තා නම් තීරණයක් ගත්තොත් ගත්තාමය... නො හෙල්ලුම්
අම්මව නින්දෙන් ඇහැරවා රන්ජිව අයියගේ පැමිණීම කිවූ මම.... හවස දියතලාවේ යාමට අවසර ඉල්ලුවෙමි.
මුළින් විරුද්ධ වූ අම්මා රන්ජිව අයියගේ මැදිහත් වීමෙන් එයට කැමති විය. හැන්දෑවේ හත වනවිට දියතලාවට ලඟා වියහැකි බවට සහතිකයක් අම්මට රන්ජිව අයියගේ ලැබුණි.
රීටා පුංචි අම්මාද දහසැරයකට වඩා අම්මාට කතා කර තිබුණි. තාත්තාත් මගේ අයියාත් ගෙදර නොසොටීම මගේ වාසියට හේතු විය...
ඒ හැමදේටම වඩා අදනම් මා දියතලාව යා යුතුම බැවු මගේ යටි හිත තීරණය කොට තිබුණි. මගේ උඩු සිතඒ තීරණයට යටත්වී තිබුණි.
මම හනික නැවත ලක ලැහැස්තිවී.... රන්ජිව අයියාත් මමත් තුන පසුවී විනාඩි තිහක් වෙන්නට විනාඩි දහයක් තිබියදී අම්මාට සහ බුදුන් වැඳ අපේ මහරගම ගෙදරින් පිටත් වීමු.
රන්ජිව අයියා වේගයෙන් රිය පදවයි. මම නිහඬවම ගමන් කලෙමි.
මොකද නෙත්මි නංගි කතා පෙට්ටිය ගෙදර තියලද අවේ...
ගෙදර තියලා අවේ එක හොදයි කියලා හිතන්න අයියේ...මම් තාම ඉන්නේ තරහින්...
අපෝ දැන් ඒක අතීතෙට දාන්න... වර්තමානේට එන්න නංගි.....
අතීතය තමයි වර්තමානය මවන්නේ..... වර්තමානය තමයි අනාගතේ මවන්නේ.... අතීතයෙන් මිදුණු වර්තමානයකුත් , වර්තමානයෙන් මිදුණු අනාගතයකුත් නැහැ රන්ජිව අයියේ.... තුනම එකිනෙකට බැඳිලා...
අම්මෝ ඇති ඇති.... හරි කතා කාරියක් වෙලානේ මෙයා....
මම සිනාසුනෙමි....
මගේ හිත කුමක්දෝ නොසන්සුන් කමකින් පිරි තිබුණි..... අර හීනය මට නැවත මතක් විය.
රන්ජිව අයියා අප දෙදෙනා අතර පවතින නිෂ්ශබ්දතාවය බිදීමට සින්දුවක් දැම්මේය...
සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ....
බලන්ගොඩ පසු කරනවාත් සමගම පරිසරය සම්පුර්ණයෙන්ම වෙනස් වී තිබුණි... නාකපන වැස්සක අත ළඟ ඇති බැවු අහස කියා පෑවේය.... විදුළි කොටන්නට වුණි අවට අඳුරුව තිබුණි.
වාහනයේ වේගය බොහෝ දුරට අඩු කල රන්ජිව අයියා...ඉතා අවධානයෙන් වාහනය පදවන්න වූ අතර තේ බොන්නටවත් අපි කොහෙවත් නතර නොවීමු. ඉක්මනින්ම ගමනාන්තයට යෑමේ උවමනාව අපි දෙන්නාටම තිබුණි.
පාර ඉතා ඇදුරු වූ බැවින් ෆොග් ලයිට්ස් පවා දාන්නට අයියාට සිදුවිය.... ගමන ඉතාම හිමින් සිදුවිය. වැස්ස නිසා දියතලාව රීටා පුංචි අම්මගේ ගෙදර යන්න රැ වන බවත් ගිය සැණින් කතා කරන්නම් කියා අම්මට මම කෙටි පණිවිඩයක් යැව්වෙමි. විදුළි කොටන බැවින් කතා කල නොහැකි බවද සඳහන් කෙරුවෙමි.
වැස්සේ සහ අකුණු හඬ මිසක් අපිට වෙන කිසි ශබ්දයක් ඇසුනේ නැත. වෙලාව හතට කිට්ටු වී තිබුණි... වාහනය ඉස්සරහට ඇදෙන්නේ නැති බවත් අයියා එය ඉදිරියට ගෙන යාමට සැහෙන්න උත්සහයක් දරණ බව මට පෙනුණා...
අයියා වැටි ඇති තත්වය තේරුම් ගත් මම ප්රශ්ණ ඇසීමෙන් වැළකුනෙමි. එක පාරටම ක්රීක් යන ශබ්දයෙන් වාහනය නැවතුණු අතර මොන හේතුවකටවත් එය නැවත ස්ටාර්ට් කර ගන්න රන්ජිව අයියාට බැරි විය.
මාගේ අනුමානය නිවැරදිනම් බෙරගල හරියේ අපි හිටියේ... පාරේ මිනිස් පුළුටකවත් නැහැ. වාහන යන එකද ඉඳ හිට සිදු වුණි. ඔක්කොමටම වඩා වාහනයෙන් එළියටවත් බැස ගැනීමට තරම් වැස්ස කාරුණික නොවීය.
අපි දෙන්නාටම මුහුණට මුහුණ බැලුණේ ඉබේටමය.... ගමනේ බරපතල කම අප දෙදෙනාටම වැටහුණි.
වාහනේ ලයිට් දා ටික වෙලාවක් වැස්ස අඩුවන තෙක් සිටියද තව දුරටත් එසේ සිටීම මෝඩකම බැවින් අයියා බ්රේක් ඩවුන් සර්විස් එකකට කතා කලත් කිසි පිළිතුරක් නොලැබුණි. රීටා පුංචි අම්මගේ ගෙදර දුරකථන විසන්දි වී තිබුණි.
අවට නොපෙනෙන තරමට අඳුර වැඩි වූනි. වාහනයක් අප පසුකර ඉදිරියට ගොස් ඉදිරි පාරකින් දකුණට හැරුණි. වාහනය එළියෙන් එය යන්නේ තේ වත්තක් හරහා බැවු මට හොදටම පෙනුණි. එම වාහනයම නැවත හරවා අප උන් දෙසට එනවා පෙනුණි. අපි දෙන්නාටම මහත් අස්වැසිල්ලක් දැනුණි.
විශාල කුඩයක් අතැතිව වාහනයෙන් බැස්ස පිරිමි කෙනෙක් වැස්සේම අප දෙසට පැමිණි නිසා රන්ජිව අයියත් කුඩය රැගෙන ඔහු දෙසට පියවර මැන්නා...
දෙදෙනාගේ කතාබහෙන් අනතුරුව රන්ජිව අයියා මා සොයා පැමිණ වැස්සේම අර පිරිමි කෙනාගේ වාහනයේ පිටු පසින් නගින්නට ඔහුගේ වාහනයේ දොර ඇර දුණි. රන්ජිව අයියා ඉස්සරහින් එම වාහනයට නැග පිටුපසට හැරී
බ්‍රයන් සෙත් දිසානායක ට, නෙතිමි අනු ජයසිංහ ව හඳුන්වා දුන්නේ තමා බඳින්නට ඉන්නා සහකාරිය ලෙසය...
සියළු අඳුර බිඳී එළියකින් මගේ දෑස් නිලන්කාරවී මගේ හදවත මොහොතකට නතර විය..

නොනිමි හතර .....දෑසට දෑසක් හමුවීලා.....
අවස්ථා සම්බන්දය සොයා ගත නොහැකිව උන්හිටි තැන්ද පැටලී මා අසරණ විය.... බ්‍රයන් මට සිනහවකින් ආචාරකලවිට මාද ආයාසයකින් ඔහු හා සිනාසුනු බවනම් මතකය.....
රන්ජිව අයියත් බ්‍රයන් කතා බහක යෙදුනු මුත් මගේ මනස නිරවුල් නොවුයෙන් මම් එයට ඇහුම්කන් නොදුන්නෙමි.... වාහනයේ එළියෙන් පෙනෙන පරිසරය දෙස මා ඔහේ බලාගෙන සිටියෙමි.... එහෙත් යන මග මටහොදටම හුරුය..... මට දැනුනේ මම නැවත ගෙදර යන බවකි....
අප රැගත් වාහනය..... විශාල පරණ බංගලාවක් අසල නතර විය... නෙතිමි නංගි බහින්න රන්ජිව අයියගේ හඬින් නැවත සිහිය ලදිමි.
අපි විශාල වූ ඒ බංගලාවට ඇතුල් වුනෙමු..... බ්‍රයන් කියන්නටත් කලින් දිගු කොරිඩෝව දිගේ වම්පසින් ඇති අමුත්තන්ගේ කාමරයට මම රන්ජිව අයියත් සමගම හැරුනෙමි.... කෙනෙක් මගෙන් ඇසුවානම් මුළු බංගලාවේම දිග පළල මට කීමට හැකි මතකයක් මට තිබුණි
හයියෙන් සිනාසුනු බ්‍රයන් ඔහුටම අවේනික සිංහල කතා කරණ විලාශයෙන්
රන්ජිව ඔයාගේ ගර්ල් මේ ගෙදර පුරුදු කාරියක් වගේනේ... පැවසුවේය....
රන්ජිව අයියා පැවසුවේ මම කතා කාරියක් බවය....
මගේ කටට වචන ආවේ නැත.... වෙනදානම් පිළිතුරු සියයක් වුනත් දෙන මම නිහඬවම ඉදිරියට ඇදුනෙමි.
මම නැවත ගල් ගැසුනෙමි.... ඒ කෙනෙක් ජිවග්‍රහයෙන් සිටිනා ලෙසටම විශාල කර රාමු කරතිබූ තරුණියගේ පින්තුරය දැකීමෙනි....
ඇය දමිළ යුවතියකි..... මුවපුරා සිනා වී සිටින දිය ඇල්ලක් අසලදී ගන්නා ලද පින්තුරයකි ....
එය යටින් “In memory of my loving Saroja” අත් අකුරින් ලියා තිබුණි...
මට මේ කිසි දෙයක් ගැන නිනව්වක් නොතිබිණි.... මා මතක සිතුවිළි කුණාටුවකට හසුව සිටියෙමි. එයින් මිදෙන්නට මා උත්සහ කලද නැවත නැවත මා ඒ තුලටම ඇදුණි.
දෙවියනේ මට මේ මොකද වුනේ.... මට දැනෙනා දේ පැවසීමට කෙනකු ළඟ සිටියේ නැත. මට බොහෝ දේ නිරවුල්ව මතක් වුණි.... අවශය වුයේ මටම ඔප්පු කර ගන්නටය..... සිහිනයක් මෙන් මේ මේ සීතල කඳු යාය මත වැළලුනු මගේ අතීතය මගේ වර්තමානය ඉදිරියේ දිග හැරෙන්නට විය.
පින්තුරය අසළ මා ගල් ගැසී ඒ දෙස බලා සිටි බැවින් මාව ඇදගෙන රන්ජිව අයියා ඉදිරියට ගෙන ගොස් අමුත්තන්ගේ කාමරයේ මට හිඳ ගන්නට සැලස්සුවේය.
මොනාද නෙතිමි නංගි වෙලා තියෙන්නේ.... ඔයා බයවෙලා ඇයි?
රන්ජිව අයියාම අපේ ගෙදරට කතා කොට දියතලාව යන්න තව රැ වන බව රීටා පුංචි අම්මට කියන ලෙස අම්මට කිවා. ප්ර මාදය වැස්ස නිසා බව පවසනවා මට ඇසුණි. අපේ වාහනය හදන්නට බාස් කෙනෙකුට පවරා තිබුණි.
උණුසුම් කොපි කෝප්පයකින් අපට සංග්රහ කල බ්‍රයන් අපිව ඇරලන්නට තරම් කාරුණික විය.
මට මට දෙස බැලීම බොහෝ අපහසු විය... මගේ හද ගැස්ම වැඩිවිය.... සියල්ල ඔහුට පැවසිය කැකිනම්..... මා නැවත ඔහුගේම වන්නේය... මම අපහසුවෙන් සමු දුනිමි...
ඊටත් වඩා මගේ හද සසළ වුනේ බොහෝ වයස ගියමුත් අප ඉදිරියට පැමිණ සුපුරුදු ආදරණිය සිනහව පා අපිව පිළිගෙන අපිව දියතලාව ඇරලවන්නට ආ මුරුගන් දුටු විටය.....
අප්පා..... මගේ අප්පා මම බොහෝ හිමින් මිමිණුවෙමි.
බදා වැළඳගෙන හඬන්න හැඩුම් ආ මුත් මම බොහෝ සංයමයකින් මගේ මුළු ආත්මයම දමනය කර ගතිමි...
මගේ අතීතයත්.....වර්තමානයත් හමුවේ .... සම්ප්රදායන් ... සම්මතයන්... ආගම ජාතිය කුල සිරිත් සියල්ල මායාවක් බව මට දැනේන්නට ගත වුයේ නිමේෂයකි.
අපි රැ දහය වනවිට රීටා පුංචි අම්මගේ ඩ්රීම් හවුස් වලට පැමිණියෙමු.... සියලු විස්තර අම්මගෙන් ඇය දැනගෙන සිටි බැවින් අපිව පිළිගෙන අපේ ගමන් මහන්සිය නිවන්නට මුණ කට සෝදා ඉක්මනට රාත්රී ආහාරය ගන්න පැමිණෙන ලෙස ආරාධනා ලැබුණි.
උණු වතුරින් ඇතිවෙන්න නෑව මුත් මගේ දෙලොවක් අතර රැදුණු සිත යළි යථා තත්වයට පත් නොවුනි....
රීටා පුංචි අම්මාගෙන් රැ වෙලා නෑවට බැනුමක් ලැබුණි....
රන්ජිව අයියා බ්‍රයන්ගෙන් ලැබුණු උදව්ව විස්තර කරමින් සිටියද මම නිහඬවම සුප් කෝප්පයක් පමණක් බිව්වෙමි.
මගේ හිත වෙනතක තිබුණි.... හෙට උදේ රන්ජිව අයියා බ්‍රයන්ගෙන් කෝල් එකක් ආවිට නැවත “නෙස්ට්” වතු යායට ගොස් වාහනය ලබා ගත යුතුය....
මම තීරණයක් ගත්තෙමි..... මගේ ප්ලෑන කෙසේ හෝ ක්රියාත්මක කල යුතුය.....
ඔයාට තියෙන්නේ අර පින්තුරේ ගෑනු ළමයාගේ ඇස්..... රන්ජිව අයියා පවසනු මතකය...
එදින දිගු රාත්රියක් විය..... බ්‍රයන් හාමු මහේ නින්ද සොරාගෙන තිබුණි......

නොනිමි පහ ..... දෑසට දෑසක් හමුවීලා.....
වෙනදට මම රීටා පුංචි අම්මගේ ගෙදර රැට ඇහැරලා ඉන්න බලන්නේ හොල්මනක් දැක ගන්න හරි හොල්මන් සද්දයක් අහන්න.... රැට පුන්චිඅම්මා කරන පිරිත් නුල් වන්දනාව නිසා හොල්මනක් අද එයි හෙට එයි කියලා හැමදාම හිතුණා.
ඒත් ඒ දිගු නිදි වර්ජිත රාත්රියේ මා සිටියේ මේ ලෝකයේ නොව, මගේ හිතේ මැවෙන අතීත චිත්‍රය මම සිතුවම් කෙරුවෙමි...... අවසානයේ පැහැදිලි චිත්රයක් මගේ හිතේ මැවුනි.
මම උදෙන්ම නැගිට්ටේ අලුත් ජිවිතයක් ලද කෙනෙකුන් ලෙසින්.... නැවත නෙස්ට් වතු යායට යෑමේ උමතුවෙන් මම පෙළුනෙමි.....
අපි උදැසන ආහාරය නිහඬව ගත්තෙමු.... මගේ නිහඬ බව හැමෝටම දැනෙන්නට වුණි.... රන්ජිව අයියා සිතුවේ මහන්සියට කියාය .... කුස්සියේදී ඇලිස් අම්මත් බේබි මොකද කතා නැත්තේ කියා දෙසැරයක් ඇසුවාය
මොකද මේ ළමයට වෙලා තියෙන්නේ..... කතාවක් නැහැ.... කල්පනා කරනවා..... නැහැ පුන්චිඅම්මා මගේ බෑග් එකක් දාල ඇවිල්ලද කොහෙද කාර් එකේ..... ඒක නැති වෙයිද දන්නේ නැහැ රන්ජිව අයියාට හොරෙන් මම පුංචි අම්මාට කීවෙමි.... මම සමන් රන්ජිව අයියව ඇරලන්න යනකොට මාත් යන්නම්.... මම පොටක් පාදා ගතිමි...
පුංචි අම්මගෙන් දියාරු අවසරයක් ලැබුණි.... මම අවසරයක් බලාපොරොත්තු වුනේද නැත.... මට උවමන වුයේ නැවත කෙසේ බ්‍රයන් දැක ගැනීමටය.... මම ජය ගතිමි.....
ඇවිදින්න යන්න මට කතා කලත් මම මහන්සියි කියලා නැවතුණා. දියතලාවේ උදේ අව්ව හරි සැපයි... පුංචි අම්මා උදේට වත්ත පිටියේ ඇවිද්දා ...හරි ලස්සන රෝස මල් පිරිලා තිබුණු වත්තක් ඩ්රී.ම් හවුස් එකට තිබුණා. මල් විමානයක් .... එක පැත්තක කැරට් බීට් ගෝවා තාක්කලි හරිම ලස්සනයි.
රන්ජිව අයියයි රීටා පුංචි අම්මයි ගියා .... කොහොමත් කොළඹ යනකොට එළවලු පළතුරු ගෙනියන්න දෙන්නේ වත්තෙන් කඩාගත් ඒවා.
මම හිටියේ නොඉවසිල්ලෙන් මුකුත් කියන්න කරන්න හිත දුන්නේ නැහැ... මගේ ජිවය වෙන තැනක බව මට දැනුනා. මොබයිල් ෆෝන් එකක් රින්ග් වෙන්න ගත්තා... රන්ජිව අයියා ෆෝන් එක දාලා ගිහිං .... මම දෙගිඩියාවෙන් හෙලෝ කිව්වා ...
මට එහා පැත්තෙන් අසුනේ මගේ ඒ බලාපොරොත්තුවේ කටහඬයි.
එහා පැත්තෙන් බ්‍රයන්හාමු රන්ජිව ඉන්නවද කියලා ඇහැව්වා .... මගේ කටහඬ නිසා මේ නෙත්මිද කියලා ඊට පස්සේ ඇහුව්වා..... (මගේ නම මතකයි එහෙනම් )
ඔව්....
කාර් එක හදල කියලා රන්ජිවට කියන්න ...
හා....
මම මුරුගන්ව එවන්නද ....රන්ජිවට මෙහෙට එන්න
එපා එපා අපි එනවා මන් ඉක්මනට කීවෙමි.
ඔයත් එනවද නෙත්මි.... රන්ජිව කිව්වේ ඔයා හොලිඩේ එකකට දියතලාව ආවා කියලා
ඔව් එත් මං එනවා...මට දිය ඇල්ල බලන්න ඕනේ....
කව්ද කිව්වේ මෙහෙ දිය ඇල්ලක් තියනවා කියලා
අප්පා ..නැහැ මුරුගන්
අපි අතර දිගු නිහැඩියාවක්......
එන්නකෝ මම ඔයාට පෙන්නනම්....
බායි සී යු දෙන්....
මම කවදත් ආසයි බ්‍රයන්හාමු සිංහල කතා කරන විදියට....
මගේ හදවත ගැහෙන ශබ්දය මටම හොදින් ඇසුණි.... සිතල දියතලාවේ මා දහඩියෙන් නැවී තිබුණි.
මම යථා තත්වයට පත්වෙන්න කලින්ම පුංචි අම්මයි රන්ජිව අයියායි ගෙදර, මම ෆෝන් එක අයියා අතේ තියන ගමන් බ්‍රයන්හාමුගෙන් කෝල් එකක් ආව බව පැවසුවෙමි.
මට කියවුනේ බ්‍රයන් හාමු කියලා මට බ්‍රයන්කියලා කියවෙන්නෙම නැහැ...... පුරුද්ද
අපි දෙන්නයි සමනුයි බෙරගල නෙස්ට් වතු යායට පිටත් වුණා...
සමන් අපේ රීටා පුංචි අම්මගේ රියදුරා ....පුංචි අම්මා ලංකාවට ආව දවසේ ඉඳල සමන් දැන් අවුරුදු පහක හයක් විතර.... සමන්ට තෑගි දෙන්න ඕනේ තියන ඉවසීමට..... සමන් වෙලාවකට වාහනේ එහෙට කැපුවත් පුංචි අම්මට වැරදියි මෙහෙට කැපුවත් වැරදියි.....
අපි දෙන්නගෙම කථාවක් නැති නිසා සමන් රේඩියෝව දැම්මා....
තුජේ දේකා තොයේ ජනා සනම් .....
පෙයාර් හොතාහේ දිවානා සනම්......
ඒකනම් සහතික ඇත්ත....නේද
මොකක්ද ..... මේ සින්දුවේ තේරුම.... මගේ කට අරුනා
හ්ම්ම්ම් වෙන්න ඇති...ඇයි නංගි ඔයා අවේ ආපහු ....
නිකන් කම්මේලි කමට මං කිව්වා
එහෙනම් රීටා පුන්චිඅම්මා කිව්වේ බෑග් කතාවක්
මගේ බොරුව..... රන්ජිව අයියට අහුවුණා
මං පුන්චිඅම්මා අම්මට බොරුවට කිව්වේ එන්න දෙන එකක් නැතිවයි කියලා
හ්ම්ම්ම්...
වත්තට යන පාර සමන්ට කිව්වේ මම් .... රන්ජිව අයියට මතක නැහැලු.... මට මතකයි කියලා මම පාර කිව්වා
අපි බංගලාවට යනකොට බ්‍රයන්හාමුත්... අප්පා මුරුගන් මිදුලට වෙලා අපි එනකම් බලන් හිටිය.....අපේ කාර් එකත් තිබුණා......අපිට තේ වලට ආරාධනා ලැබුණත් තුන වෙනකොට කොළඹ ඉන්න ඕනේ නිසා ඉක්මනින් යන්න ඕනේ කියලා රන්ජිව අයියා කිව්වා...
රන්ජිව අයියා නොසැහෙන්න බ්‍රයන් හාමුට ස්තූති කලා..... කොළඹ ආව වෙලාවක එන්න කියලා විසිටින් කාර්ඩ් එකත් දුන්නා... මාත් ඒකට එකතු වුණා.
මට ඕන වුනේ රන්ජිව අයියා යනකොට මාත් පිටත් වෙන බව අඟවන්න ..එත් බ්‍රයන් හාමු වැඩේ කෑවා මට දිය ඇල්ල බලන්න ඉන්න කියලා ... එකත් කිව්වේ “නෙත්මි නම් දිය ඇල්ල බලලානේ යන්නේ කියලා...”
මගේ දෙවෙනි බොරුවත් රන්ජිව අයියට අහුවුණා... මං දිහා අමුතු බැල්මක් දාල රන්ජිව අයියා කාර් එකට නැග්ගා.
මම රන්ජිව අයියට හිනාවෙලා ආදරයෙන් ස්තුති කලා මාව දියතලාවට ගෙනාවට.... මම ආය එනකොට එයාට කියන්න කියලා රන්ජිව අයියා මට කිව්වා... මට රන්ජිව අයියා ගැන දුක හිතුණා....
රන්ජිව අයියා නොපෙනී යනතුරු මාත් බ්‍රයන්හාමුත් බලන් හිටියා.... මං දුවලා ගිහිං සමන්ට කිව්වා ටික වෙලාවක් ඉන්න කියලා.... සමන් කැමති නැහැ රීටා පුන්චිඅම්මා ගේ වචනෙට පිටින් යන්න... එත් ඉතින් මම නිසා හා කිව්වා...
නෙත්මි අපි අව්ව සැර වෙන්න ඉස්සර යමු....
මුරුගන් අප්පා හරි පුදුමෙන් වාගේ බලන් හිටියා..... හාමු යන්නේ නෙහෙ නේද දිය ඇල්ල ගාවට
මං හිතන්නේ පහුගිය අවුරුදු විස්සටම ගිහිං නැහැ..... බ්‍රයන් හාමු මුරුගන් දිහා බලලා හිනා වුණා.. මුරුගන් දන්නේ නැති වුනාට මම හැම දවසකම දිය ඇල්ල ගාවට ගියා....
අපි දෙන්න දිය ඇල්ලට යන්න පිටත් වුණා....
අපි දෙන්නා හැමදාම හම්බවුණ දිය ඇල්ල ගාවට..... වෙනස තිබුනේ කාලයේ විතරයි.....
අවුරුදු විස්සකට කළින් අපි දෙන්නා මුණ ගැසුණු දිය ඇල්ල...... ආදරයේ ඇල්ල.....
මට සියල්ල මතකයි එත් බ්‍රයන් හාමුට....

නොනිමි හය ..... අපිට අතරමග වෙන් වෙන්න වුණා...
අපි දෙන්නම හිමින් ඉදරියට ඇදුනා... අපි පියමන් කලේ සුපුරුදු අඩි පාරක..... මට කිසිදෙයක් අලුත් විදියට දැනුනේ නැහැ....
මම නිහඬවම බ්‍රයන් හාමු පිටුපසින් අඩිය තිබ්බා..... දුවලා ගිහිං අත අල්ල ගන්න හිතුනත් ඒ සිතුවිල්ල මම ආයාසයෙන් මැඩ ගත්තා..... අනේ මට මේ දැනෙනා සියල්ල කෙසේ පහදන්නද.... මාව විස්වාස කරයිද? බ්‍රයන් හාමු මාව විස්වාස නොකර හිටීයොත්
මගේ හිත මාත් එක්කම තර්ක කලා..... දිය ඇල්ලේ සද්දේ ළඟ ළඟම ඇහුණා..... දිය ඇල්ලට යන පාර දෙකට බෙදෙනවා...එක පැත්තකට ගියොත් කෝවිල අනෙක් පාරෙන් ගියොත් දිය ඇල්ල.... මම ඉබේටම වගේ කෝවිල පැත්තට ඇදුනා...
කොහෙද ඔහේ යන්නේ...
මගේ පමාව දැකල බ්‍රයන් හාමු ඇහුවා..... මම කෝවිලට ගිහිං එන්නම්.....
නෙත්මි ඔයා දන්නේ කොහොමද..... බ්‍රයන් පුදුමෙන් ඇසුවා?
මට කපුරු සුවඳ දැනුනා..... බ්‍රයන් හා.. මම අමාරුවෙන් හාමු කියන වචනේ ගිල ගත්තා
කෝවිල ලෝකයක් වගේ මට හැමදාම දැනුනේ..... මම් මගේ දුක හැමදාම කිව්වේ දෙවියන්ට.... එත් මාව බේරගන්න දෙවියන්ටත් බැරි වුණා.... එදා මාව බේරගන්න බැරි වුන දෙවියන් ඉදිරියේ අද මං දනින් වැටුනේ.. පුරුද්දට....
ගොඩක් දේවල් ඒ විදියමයි.... කිසිම වෙනසක් නැහැ.... අවුරුදු 19ක් 20ක් කියන්නේ ලොකු කාලයක් වුනාට..... කෝවිලත් ඒ විදියට තිබුණා...
බ්‍රයන් හාමු කවදත් කෝවිල ඇතුලට ආවේ නැහැ... මම එනකම් බලන් හිටිය එදා වගේම අදත්
අපි දෙන්න ආපහු ඉක්මනින්ම දිය ඇල්ල පැත්තට යන්න ගත්තා..... කදු මුදුන් දෙකක්.... එකක කෝවිල එකක දිය ඇල්ල...
මම බොහෝ වෙලාවක් දිය ඇල්ල දිහා බලන් හිටියා.... නිහඬ බව බින්දේ බ්‍රයන්හාමු
නෙත්මි ඔයා දන්නේ නැති වුනාට මේ මුළු ලෝකෙන්ම මම ආසම තැනත් මම ආසම නැති තැනත් මේ දිය ඇල්ල.
මම එකට හේතුව දන්නවා.... මම හිතින් පිළිතුරු දුන්නා.
කියන්න දහසක් දේවල් තිබුනත්..... මම මගේ වචන වලට මම අගුලු දැම්මා....
දාල යන්න බැරි දේවල් මොන තරම් තිබුනත් අපි ඒවා මොහොතින් දාල යනවා දවසක..... මේ දිය ඇල්ල මට ඒ මොහත මතක් කර දුන්නා..... සරෝජව බ්‍රයන්ගෙන් වෙන් කෙරුව දිය ඇල්ල....
අපි යමු තවත් ඉවසාගෙන සිටින්න බැරිම තැන මම කිව්වා......
මගේ හිතේ තිබුණු නොසන්සුන් කම නිසා ආපහු යන ගමනේදී දෙසැරයක් මගේ කකුල් පැටලිලා වැටෙන්න ගියා ....තුන්වෙනි සැරේ මාව වැටෙන්න නොදී අල්ල ගත්තේ බ්‍රයන් හාමු...
මම හිසේ සිට පාදාන්තය දක්කවා හීතල වෙනවා මට දැනුනා....මට මුණ දිහා බැලුනේ ඉබේටම.... අපේ දෙනෙත් එකට මුණ ගැසුණා.... කල්පයක් වගේ නිමේශයකට පසුව
ඔයාට තියෙන්නේ සරෝජාගේ ඇස්..... මාව අත හරින ගමන් වේදනාවෙන් කිව්වා....
මුලින්ම කිව්වේ රන්ජිව අයියා දැන් බ්‍රයන් හාමු...

නොනිමි හත..... ඔබට මතක ඒ අතීතයේ හිටියේ මමයි....
මම ආපහු හැරිලා බැලුවේ නැහැ.... බැලුවනම් යන්න හිතෙන එකක් නැහැ.....
මගේ මතකය මාව අසරණ කලා..... මට දැනුයි තේරෙන්නේ... ඇයි මම සීත පරිසරයට..... රීටා පුංචි අම්මගේ යාළුවගේ පුංචි තේ වත්තට මේ තරම් අසා කලේ ඇයි කියලා..... සියලු දණ්ඩ නීති විදිමින් දියතලාව ඒමේ පිපාසාවෙන් හිටියේ ඇයි කියලා....
මට දැන් හිතෙන්නේ මම මේ මතකයෙන් හැමදාම හිටියා වහේ..... පුරුදු පරිසරය මගේ මතකය නිරවුල් කලා විතරයි....
එත් මට දැනෙන මේ හැගීම බ්‍රයන් හාමුට නොදැනුනොත්..... මම කොහොමද ආපහු එයාගේ සරෝජා වෙන්නේ.... මට ඒ අතීතය අයිතිත් නැහැ....දැන් වර්තමානයේ රැදෙන්න හිතකුත් නැහැ.... හැම දේම පැටළිලා....
“කාට කියන්නද මේ දුක ඔබ හැර....” ඒ අස්සේ සිංදුවකුත් මතක් වුණා.... මගේ හිතේ මැවුණු හරස් පද ප්රේහෙළිකා විසදමින් ඉන්න මම පියවි ලෝකයට ආවේ සමන්ගේ කටහඩින්....
නෙතිමි බේබි ඇයි අඬන්නේ.... දැම්මම බය වෙලාද රීටා හාමු බනියි කියලා.... මම බලන් හිටියා දැන් එයි දැන් එයි කියලා....
මම දන්නෙත් නැහැ මගේ ඇස දෙකේ කදුළු...... අව්වවට සමන්.... දිය ඇල්ල ගාව අව්ව සැරට තිබුණා.... දිය ඇල්ලනම් දාලා එන්න හිතුනේ නැහැ... ඒ නිසා වෙලාව යනවා තේරුණේ නැහැ.... සමන්
අපි ගෙදරට එනකොට.... පුංච් අම්මා ගේට්ටුව ගාව...
සමන් බයවෙන්න එපා මම ඔයාව බේරන්නම්...
මම ලොකු හිනාවක් මවාගෙන කාරෙකෙන් බැස්සේ පුංචි අම්මගේ ඔරවන මුණ තේරුණේ නැහැ වගේ....
මම එයාටත් කළින් කතාව පටන් ගත්තා....
අපරාදේ පුංචි අම්මත් අද ආවානම් අපිට අද ඩේ අවුට් එකක් කරගන්න තිබ්බා.... හරිම ලස්සනයි පුංචි අම්මේ ඔයා දැක්කනම් කියයි පුංචි ඉන්ගලන්තේ කියලා...
මාර දිය ඇල්ල.... එක නෙවෙයි බ්‍රයන් ස්ටඩි කරලා තියෙන්නේ U K වල.... රීටා පුංචි අම්මා ඔයාට කම්පනි තියන්න හොදම කෙනා.... අපි දවසක් යමු ඩේ අවුට් එකක් එහෙට....
මම කියාගෙන කියාගෙන ගියා..... ඉන්ගලන්තේ කතාව ඇහැව්වා විතරය් රීටා පුංචි අම්මගේ මූඩ් ෆික්ස් වුණා....
එයාට අපිට බනින්න අමතක වුණා.... ඊට පස්සේ මගෙන් වැඩි විස්තර අහන්න ගත්තා....
සමන් මගේ දිහා බලල යන්න ගියේ.... බේබි තමයි බේබි කියන්නා වගේ මුනේ හිනාවක් මවාගෙන...
අන්න එහෙමයි අපි දෙන්නා එදා බැනුම් ඇසීමෙන් බේරුනේ...
මම බත් කාලා ඉවර වෙනවත් එක්කම රන්ජිව අයියා කෝල් කරා....
කරදරයක් නැතිව කොළඹ ආවා නේද අයියේ....
ඔව් මමනම් අවා ඔයා කීයටද ආවේ???
ඇවිල්ලා ටිකක් වෙලා දැන් මේ පොඩි නින්දකුත් දැම්මා
නෙත්මි නංගි ....බොරුනම් කියන්න එපා.... මම රීටා පුන්චිඅම්මාට කෝල් කරා කළින්....
ඔයාගේ ෆෝන් එකනම් ඉතින් ක්රියා විරහිතයි ....
මෙයාටත් ඕනේ නැති දෙයක් නැහැ.... මට මාර තරහයි....
අම්මා කිව්වේ එයාට මාව ඇරලවන්න විතරනේ.... ඉන් එහාට මගේ ගැන මොනවා හොයනවද මන්ද
මම කථා නොකර හිටියා කතා කරානම් මගේ හිතේ තිබුණු ඔක්කොම වියවුල් රන්ජිවඅයියා පිටින් යන්න ඉඩ තිබුණා.
මං හොද හුස්මක් අරගෙන දිය ඇල්ල ගාව වෙලාව යනවා තේරුණේ නැහැ කියලා කිව්වා.... ඉතින් එක තමයි ඇත්ත.
හා ඔකේ බායි කියලා රන්ජිව අයියා ෆෝන් එක තිබ්බා...
මට හදිසියේම පලා යන්නට උවමනාවක් දැඩිව දැනුනි.... ඇත්තෙන්ම තනි වෙන්න... මේ ප්රශ්න කිරීම් වලින් මිදෙන්න.... මට තනිවී නිවිසැනසිල්ලේ හිතන්න බොහෝ දේ තිබුණි...
මම කාමරයට ගොස් දොර වසා ගතිමි.
නවාතැන් පොළ ඔබයි ඔබගේ හිනාවයි.... ජිවිතේ දිගු වන්දනා ගමනේ....
මට බ්‍රයන් හාමුගේ මුණ මැවී පෙනුණි.... මගේ හිත ඔහු ළඟ නතර වෙලා....
මට මතකයි මාව දාලා පුංචි බ්‍රයන් හාමු ඉන්ගලන්තේ ගියාම මම මාස ගානක් හෙව්වා... අම්මා ආය බ්‍රයන් හාමු එන්නේ නැහැ කිව්වත් මම හැමදාම අම්මා එක්ක බංගලාවට ගියා.... ටික දවසක් යනකම්. ඊට පස්සේ අම්මා බංගලාවට යන එක නැවැත්තුවා...ඊට පස්සේ මම අප්පගෙන් හැමදාමබ්‍රයන් හාමු ඇවිල්ලද කියලා හවසට ගෙදර ආවම අහනවා....
ඊට පස්සේ හාමු හිටියේ මගේ හිතේ විතරයි...
එත් හරියටම අවුරුදු 12කත පස්සේ ඒ කියන්නේ අපි දෙන්නම අවුරුදු 18දි ආපහු මුණ ගැසුණා.... මම් ඉස්කෝලේ ගිහිල්ලත් ඉවර වෙලා හිටියේ...
ඒ දිය ඇල්ල ගාව....මම මල් හොයන්න දිය ඇල්ල පාරට ගොඩක් දවස් වලට ගියා.... කවුරු හරි මගේ පිටිපස්සෙන් එන බවට මට දැනුනත් හැරිලා බැලුවම කවුරුත් හිටියේ නැහැ....
බ්‍රයන් හාමු මම මල් කඩනකොට මගේ ඇස් වැහැව්ව.... මම බයවුනත්.... මට පුරුදක් දැනුනා... මම එක පාරටම ඒ බ්‍රයන් හාමු කියලා දකිනත් ඉස්සෙලා කිව්වා....
හාමුත් මාව එක පාරින්ම අඳුනගෙන....
අපි මොහොතින් අපිව වෙන් කෙරුවා කාලයේ පරතරයෙන් එදා මිදුනා....
අපි අපේ සියළු වෙනස්කම් පසෙකලා..... ආදරයෙන් බැදුනා....
දිය ඇල්ල නිහඬවම සියල්ලට සාක්ෂි දැරුව.....
මට එදා අවුරුදු 12කට පස්සේ සරෝජා ලෙසින් දැනුණේ අවුරුදු 20ක් ගිහිං නෙත්මි ලෙස දැන් දැනෙන ආදරයමයි...
වෙනසකට අද තියෙන්නේ අපේ දෙන්නගේ වයස් පරතරය.... (එදා සමාජ පරතරය) මට විස්ස ලැබුවා විතරයි.... බ්‍රයන්ට හතළිහක් වෙන්න ඕනේ.. එත් මම ඔහුගෙන් දුටුවේ එදා දුටුව රුවමයි.....
මගේ ෆෝන් එක රින් වෙන සද්දෙන් මම නැවත මගේ අතීතයෙන් මිදුනා.....
රන්ජිව අයියා වෙන්නැති.... මම කේන්තියෙන් කවුද කියලා බලන්නෙත් නැතිව හලෝ කිව්වා..

නොනිමි අට.... අපි අපිම වෙමු එදා වගේම අදත් හෙටත්, සදාකල්....
හලෝ ඇයි...?
පුතේ මේ මම.... එහා පැත්තෙන් අම්මා....
ඇයි මේ තරහින් ....??
අම්මා..... ඔයා කතා කරපු එක හොදයි...
ඇයි පුතේ කරදරයක්ද?
නැහැ අම්මා රන්ජිව අයියට කියනවද මට මගේ පාඩුවේ ඉන්න දෙන්න කියලා.... එයා මාව දියතලාව ඇරලුව එච්චරයි .... එයාට කියන්න මම ගැන හොයන එක නවත්වන්න කියලා
පුතේ මම ඔයාට සැරෙන් සැරේ මතක් කරලා දුන්නේ නැති වුනාට ඔයා දන්නවා, ඔයාගේ විවාහය සම්බන්දයෙන් තාත්තා තීරණයක් අරන් ඉවරයි .... එක වෙනස් කරන්න අමාරුයි
රන්ජිව පුතාගේ ඇති වැරැද්ද මොකක්ද්ද.... ඒ ළමයා ඔයාට ගොඩක් කැමති ...අපේ පවුල් දෙක හොදට ගැලපෙනවා.... ඔව් පවුල් ගැලපුනම ඇති බඳින දෙන්නා ගැලපෙන්න ඕනේ නැහැ.... මම තරහින් හිතුවා.
වැරැද්ද තමයි අම්මා මම රන්ජිව අයියාව බඳින්න කැමති නැති එක
කැමති නැත්නම් කැමැත්තක් ඇති කර ගන්න....
නැහැ ඒක කවදාවත් වෙන්නේ නැහැ..... ඔන්න මාව එක්කයන්න අයියට එන්න කියන්න... රන්ජිව අයියා එක්කනම් මම ආපහු එන්නේ නැහැ.....
රීටා පුන්චිඅම්මා එක්ක හොදින් ඉන්න..... හා බලමුකෝ ඒ දවස් වෙනකොට අයියා ෆ්රී. නම් මම එයාව එවන්නම්
අම්මේ
ඇයි පුතේ
මම රන්ජිව අයියට නෙවෙයි ආදරේ කරන්නේ.....මම තියන්නම් අම්මේ.... මම හොදින්, ඔන්න දැන් වැඩිදුර ප්රරශ්න අහන්න එපා මට නිදිමතයි....
හරි හරි නිදිය ගන්නකෝ මගේ පණ්ඩිත කෙල්ල...
අම්මගෙන් මිදුණු මම නැවත මගේ කල්පනා ලෝකෙට ගියා....
මගේ ලෝකේ හිටියේ ඉන්නේ එකම එක්කෙනයි..... දැනම් රන්ජිව අයියාට කිසි ඉඩක් නැත....
මගේ බ්රේයන් හාමුගෙයි ආදරේට වැට කඩලු තිබුනේ නැහැ.... අපි ගොඩක් දවසට දිය ඇල්ල ගාව හම්බ වුණා....
කෝවිලටත් මාව ඒ හැම පාරම මාව ඇරලුවා... ලොකු හාමු මහත්තයට බ්රපයන් හාමු ගැන හොයන්න වෙලාවක් තිබුනෙම නැති තරම් ... ඒ නිදහස බ්ර යන් හාමු බුක්ති වින්දා....
මම නම් බ්රතයන් හාමු හම්බවෙන්න කළින් පවා කොවිලට දිය ඇල්ල ගාවට හැමදාම වගේ ගියා...... දිය ඇල්ල ගාවින් ඇතුලට වෙන්න පොඩි කුටියක් තිබුණා එතනින් පාරක් තිබුණා කෝවිලට..... එකම එක දවසක් අප්පා මාව එතැනින් අරගෙන ගිය මතකයක් මට තියනවා.... කොහොම වුනත් ඒ පුංචි ගල් ලෙන මගේ දෙවෙනි ගෙදර....
මම එතැනට වෙලා තනියෙන් ඉන්න පුරුදු වෙලා හිටියා බ්රකයන් හාමු නැති මගේ පුංචි කාලේ...
බ්රඑයන් හාමු බඳිනවනම් බදින්නේ මාව විතරයි කියලා මට කියලා තිබුණා... මාත් එක අකුරටම පිළි ගත්තා..
මගේ අම්මට අප්පට මම ගැන සැක කරන්න හේතු තිබුනේ නැහැ..... දවසක් අපි දෙන්න කතා කර කර පහලට එනවා වත්තේ කන්කානම්ගේ පුතා වේළු දකිනකම්...
වේළු ට මගේ ගැන අදහසක් තිබ්බා.... එක අපේ අප්පත් අම්මත් කන්කානම් තුන් දෙනාම දැනගෙන හිටියා.... එත් මම කවදත් වේළු එක්ක හිනා වුණා මිසක් වචනයක්වත් කතා කලේ නැහැ....
කන්කානම් අප්පට අපේ විවාහයක් ගැන වචනේ දාලා තිබුනේ.... විස්ස පහුවෙලා බලමු කියලා අප්පා කිව්වා කියලා අම්මා මට කිව්වා.... මම මුකුත් කියන්න ගියේ නැහැ
මේ කාලේ තමයි මගේ හිතේ හැමදාම හිටපු බ්ර යන් හාමු මගේ ලෝකෙට ආවේ ....
වේළු අපි දෙන්නා ගැන අප්පට කියලා තිබුණා.... අප්පා මගෙන් ප්ර ශ්න කරේ නැහැ...
අම්මට බාර දුන්නා.... මම පිළි ගත්තා.... අම්මා මාව කෝවිල් ගෙනිහින් දෙවියන් ඉස්සරහ පොරොන්දු කෙරෙව්වා බ්රායන් හාමුව ආය මුණ ගැහෙන්නේ නැ කියලා...
ලොකු හාමු දැන ගත්තොත් අපි වත්තෙත් වසල ඉවරයි කියලා .... අම්මා අඬන්න ගත්තා.
මම කෝවිලෙ දෙවියන් ඉස්සරහ වචනයෙන් පොරොන්දු වුනත්.... හිතින් නම් දෙවියන්ට කිව්වා බ්රරයන් හාමු මුණ ගැසෙන්න උදවු කරන්න කියලා.... අපිව වෙන් කරන්න එපා කියලා කන්නලව් කලා....
අපේ අම්මලට එක දෙයක් අමතක වුණා.... ආදරේ නිසා සියලු සම්බන්ධකම් සහ උපන් රටත් දාලා ආව ආච්චිගේ මිණිබිරිය මම බව.... ඇගේ ලේ මගේ සිරුර පුරා දුවන බව....
වෙනදා වගේ නිතරම නොවුනත්... මාත් බ්රලයන් හාමුත් දිය ඇල්ල ගාව රෑට මුණ ගැසුණා ටික වෙලාවකට හරි..... ඝන අදුරේ වුනත් දිය ඇල්ලට යන පාර මට පෙනුණා.... බ්රවයන් හාමුත් ලේසියෙන්ම බංගලාවෙන් අවා....
මමනම් පැන ගත්තේ අමාරුවෙන්..... මම නිදාගෙන ඉන්නවා වගේ රෙද්දකින් වහලා ඇඳ හරි ගස්සලා....
රීටා පුංචි අම්මා රැ කෑමට කතා කලා.... මම මොනවදෝ කලා පොතක් කියවන්න තියනවා කියලා මගේ කාමරේ නිදා ගන්න පුංචි අම්මගෙන් අවසර ලබා ගත්තා....
මම මගේ ඇඳට එනකොට මගේ ෆෝන් එකේ මිස් කෝල් එකක් .... මම දන්නේ නැති නොම්බරයකින්..... ආපහු කතා කරම්දෝ කියලා හිතන කොටම ෆෝන් එක රින්ග් වුණා....
එහා පැත්තෙන් ඇසුනේ සංසාරේ පුරාවට මට පුරුදු ඒ හඬයි....
මට බ්රතයන් හාමු කියලා ඉබේටම කියවුණා....
අනේ නෙත්මි මට බ්රහයන් හාමු කියලා නම් කතා කරන්න එපා.... එක මට හිතට වදයක්....
හ්ම්
මම ඔයාට සෙත් කියනම්....
ඔයාට මගේ මුළු නමම මතකයි..... ඔව් සෙත් කියන්න....
ඔව් බ්රේයන් හාමු.... සොරි සෙත් ....එත් මට හැමදේම මතකයි....
හැමදේම කියන්නේ...
නැහැ .... ඒක ඕනේ නැහැ.... සෙත් මට කතා කලේ.... මම අමාරුවෙන් සෙත් කිව්වා.... කටට පොඩ්ඩක්වත් හුරු නැහැ...
සෙත් මගේ නොම්බරේ හොයා ගත්තේ කොහොමද....
එදා මට රන්ජිව..... එයාගෙයි ඔයාගෙයි දෙන්නගෙම නොම්බර දුන්නා...
ඇත්තද... ඉතින් සෙත් කතා කලේ..... ( මගේ හර්ද ස්පන්දනය බ්රෙයන් හාමුට ඇහේ කියලා මම බයෙන් හිටියේ)
මට හරියටම හේතුවක් කියන්න බැහැ නෙත්මි....එත් ඔයාට කතා කරන්න හිතුණා....
ඒක හොදයි සෙත්....මාත් කැමති ඔයත් එක්ක කතා කරන්න....
රන්ජිව අයියා නේද ඔයාව බඳින්න ඉන්නේ...
ඔව්...එත් එක කෙරෙන්නේ නැහැ....
ඇයි.... මම වෙන කෙනෙකුට ආදරේ කරනවා...
එහෙමද.... රන්ජිව දන්නවද....
නැහැ... රන්ජිව තියා මම ආදරේ කරන කෙනත් දන්නේ නැහැ....
එහෙමද.... ඉතින් ඇයි නොකියන්නේ.... එකට තාම වෙලාව ආවේ නැහැ සෙත්
සෙත් මගේ පුංචි අම්මත් කැමති දිය ඇල්ල බලන්න.... අපි දවසක එන්නද ....
හෙට වුනත් කමක් නැහැ.... එන්න.... හදිස්සියෙන් දුවන්න බලාගෙන එන්න එපා නෙත්මි....
හරි හරි දවසම ඉන්න එන්නම්... සෙත්....
එහෙනම් ෆ්රීම වෙලාවකට මට කෝල් කරන්න...මම තියනම් නෙත්මි....
ඔකේ සෙත්.....
සෙත් සෙත් සෙත්.... මම දහසැරයක් විතර ඒ නම හිතින් කියෙව්වා....
ම්ම්ම්ම්ම් මම ආසයි ඒ නමට....
මම හිතේ පිරුණු බලාපොරොත්තු ගොන්නක් එක්ක රැ සුවසේ එළිවෙනකම් නිදා ගත්තා....
මම සෙත්ව හීනෙන් දැක්කේ නැහැ..... හෙට අනිද්දා මම එයාව බලන්න යනවා ආපහු ...
මට දැනෙන දේ සේත්ටත් දැනෙනවානම්.... මම වගේම එයත් මට ආදරේ කරනවානම්
සොඳුරු අතීතයෙ නිමල පැතුම වී
මගෙ හද තුළ ඔබ ඉන්න ඇතී
ඒ හින්දා යළි සෙනෙහ සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඇතී..
කඳුළු සුසුම් මැද සතුටු සිනාමැද
භවය පුරා ළඟ ඉන්න ඇතී
එදත් මගේ සිත අද මෙන් කැපවී
ඔබේ නමට පුද දෙන්න ඇතී...
නොසැලී නොතැවී බාධක හමුවේ
ආ හින්දා ජය ගන්න ඇතී
ආත්ම ගනනේ පුරුදු ලෙසින් අපි
මේ අයුරින් හමු වෙන්න ඇතී
එහෙනම්.... මාව එයාගෙන් වෙන් කරන්න මේ ලෝකේ කාටවත් මම ඉඩ දෙන්නේ නැහැ...
මම මට පොරොන්දු වුණා.....

නොනමි .....නමය
මගේ අතීතයත් වර්ථමානයත් අනාගතයත් ඔබ නම්....
මම වෙනදට වඩා උදෙන්ම නැගිට්ටා... රෝස මල් පොකුරක් කඩල ලස්සනට ගෙදර මල් පෝච්චි කීපයකම දැම්මා.... මම හිටියේ සතුටින් කියාගන්න බැරි අමුතු සතුටකින් ....
මොකද දුව මේ..... මගේ මල් සැරසිලි දැකල රීටා පුංචි අම්මා අහනවා.... නිකන්.... ආසාවට කියලා මම් කිව්වා....
දුවනම් අද ඉන්නේ හරි සතුටින්.... මොකද....
පුංචි අම්මේ අපි කවදද දිය ඇල්ල බලන්න යන්නේ... අපි හෙට යමුද.....
දුවගේ කැමැත්තක්.... අපි කෑම ටිකක් හදන් යමු නේද දුව
ම්ම්ම්ම් හරි අපි ඇලිස් අම්මට කියමු අපිට පෑන් කේක් ටිකක් හදල දෙන්න කියලා...
මම චයිනිස් රෝල්ස් ටිකක් හදන්නම් පුංචි අම්මේ ඒ ගමනම........ චෝකොලට් කේක් එකකුත් හදමු.
ෆ්රුට් ඩ්රිරන්ක් එකකුත් හදාගතන්ම් වැඩේ සම්පුර්ණයි....
රීටා පුංචි අම්මා මගේ උද්යෝගය ගැන මුකුත් නොකියා මගේ මුණ දිහා බලලා අමුතුවට හිනා වෙලා එයාගේ දවසේ කාලසටහනට වැඩ පටන් ගත්තා...
උදෙන්ම නැගිට්ට හින්දා දවස ඉතුරුයි..... උදේ කෑම ගන්න වෙලාව තිබුණා මම කාමරේට ගිහිං ඇඳට පැන්න....මට හිතන්න දේවල් බොහොමයි....
මුළින්ම කලේ සේත්ට (රැ තිස්සේ සිය සැරයක් විතර කියලම දැන් කටට හුරුයි) කෝල් එකක් ගත්ත .... එක රින්ග් එකෙන් සෙත් කතා කලා
හෙලෝ නෙත්මි..... මම මේ ඔයාට කතා කරන්න හිතුවා විතරයි....
ම්ම්ම් එහෙමද.... මම නම් කතා කලේ හෙට අපි එනවා කියන්න.... මමයි රීටා පුංචි අම්මයි...
නියමයි..... මම කෝල් කරලා අහන්න හිතුවෙත් හෙට එන්න බැරිද කියලා....
සෙත් මම ඔයාට චොක්ලට් කේක් එකක් හදන් එන්නම් ... I LOVE IT
අපි දෙන්නා අතර දුරස්ථ බවක් තිබුනෙම නැහැ... අපි කතාකලේ බොහෝ කල් අඳුරගෙන ඉන්න දෙන්නෙක් වගේ... මමනම් හරි කියමුකෝ සෙත් වුනත් මාත් එක්ක හරි සුහදව කතා කලා...
මට මම ගැන මට දැනෙනා දේ සේත්ට කියන්න ඕන වුනත් බය හිතුණා සෙත් මාව විස්වාස කරන එකක් නැහැ කියලා. අනිත් අතට මම් එහෙම දෙයක් කියලා සෙත්ව මට නැතිම නැතිවෙයි කියලා බයක් මගේ හිතේ තිබුණා ....
මම සෙත්ගෙන් සරෝජා කියන්නේ කවුද කියලා කෙළින්ම ඇහැව්වා..... මට කියන්න සරෝජා නැති වුනාට පස්සේ ඔයා මොනවද කලේ...
නෙත්මි ඔයා කොහොමද මේ විස්තර දන්නේ.....
ඔයාගේ ගෙදර තියන සරෝජාගේ පොට්රේට් එක මට සියල්ල කිව්වා....
ඔකේ... හ්ම්ම්ම් ඇයි සරෝජා නැති වුනාට පස්සේ අහන්නේ ඊට කළින් එපාද?
මට දැනගන්න ඕනේ ඊට පස්සේ විතරයි සෙත්.... මම ඒකට හේතුව ඉක්මනටම කියන්නම්
එදත් දීපාවලි දවසක්.... මගෙයි සරෝගෙයි දෙන්නගෙම උපන්දිනේ....
සරෝ මට එයාගෙම අතින් මහල ලස්සන.... පිලෝ කෙසෙස් දෙකක් දුන්නා.... මගේ ගාව තියනවා තවම ඒ දෙක....මම එයාට එයා කැමතිම මාල වළලු මුදු කරාබු ගොඩක් අරගෙන තෑගි පෙට්ටියක්ම දුන්නා.
අපි දෙන්නා අමාරුවෙන් මුණ ගැහුනේ.කෝවිල ට ගොඩක් දෙනා යන නිසා අපි ට වැඩි වෙලාවක් තිබුනේ නැහැ.... අපි අතුරු පාරකදී මුණ ගැසුණා. තෑගි හුමාරු කලා. මගේ තෑග්ග ගෙදර ගෙනියන්න බැහැ කියලා එයා දිය ඇල්ල ගාව හංගනවා කිව්වා.... එයා දිය ඇල්ල පාරට ගියා මම ගෙදර අවා.
මම කවදාවත් හිතුවේ නැහැ. මම ඒ සරෝව දැක්ක අන්තිම වතාව..... රැ දහයට විතර සරෝගේ අම්මයි අප්පයි අපේ ගෙදර අවා සරෝජා කෝවිල් ගිහිං ගෙදර ආවේ නැහැ කියලා....
අපි මුළු රෑම හෙව්වා ....කිසි දෙයක් අපිට දැන ගන්න ලැබුනේ නැහැ... වේළු කිව්වා දිය ඇල්ල පැත්තට යනවා දැක්කා කියලා.... ඒක මාත් දැනගෙන හිටියා..
අපි උදේ ආපහු දිය ඇල්ල ළග සෝදිසි කලා.... කෝවිල පැත්තෙන් දිය ඇල්ල දිහා බලන් හිටිය කෙනෙක් දැකල පහළට වෙන්න කවුරු හරි වැටිලා ඉන්නවා ගල් තලාවේ.... ඒ එක්කම වගේ පල්ලෙහා දිය ඇල්ලේ ළග තිබිල මම සරොට දුන්නා තෑගි පෙට්ටිය සොයාගෙන...
ඒක හිස්ව හම්බවුනේ... අන්තිමට සරෝව අපි හොයා ගත්තා.... ඒ වෙනකොට මැරිලා පැය 14 විතර කියලා පස්සේ මරණ පරීක්ෂණයේදී හෙළි වුණා.... ඒ කියන්නේ සරෝ මගෙන් වෙන් වෙලා පැයක් අතුල තුල මැරුණා කියන එක මට අදහගන්න බැරි වුණා.
සියදිවි නසා ගන්න හේතුවක් තිබුනේ නැහැ ...කාවවත් සැක නැහැ කියලා අම්මයි අප්පයි පොළිසියට කිව්වා.... අන්තිමට තීරණය වුනේ දිය ඇල්ලෙන් වැටිලා සරෝ මැරුණා කියලා...
මුරුගන් කිව්වා වෙන්න ඇත්තේ දිය ඇල්ල මැදින් තියන පාරෙන් සරෝ කෝවිලට යන්න ගිහිං මේ දේ වෙන්න ඇති කියලා....
සරෝගේ අම්මට මේ සිද්ද වුණා දේ දරා ගන්න බැරිවුණා.... එයාට හොද සිහිය නැතිවුණා.... ටික දවසකින්ම එයත් හාර්ට් ඇටක් එකකින් නිදි පැදුරේම මැරුණා...
මට නෙක්ස්ට් වත්තේ ඉන්න හිතුනේ නැහැ.... මම අම්මා නැතිවුණා නිසා ඉන්ගලන්තෙන් අවා.... සරෝ නැතිවුනාම ආපහු ඉන්ගලන්තෙට ගියා... දෙවෙනි සැරේට ආවේ ආපහු අප්පච්චිගේ මරණෙට.....
ඊට පස්සේ මම ආපහු ගියේ නැහැ සරෝජාගේ මතකයන් එක්ක මෙහේ දිගටම ඉන්න තීරණය කලා.
අපි දෙන්නට අපේ දුරකතන සංවාදය නවත්තන්න වුනේ රීටා පුංචි අම්මා තුන්වෙනි වතාවටත් මට උදේ කෑම කන්න කතා කරපු නිසා....
පහුවෙනිදා මුණ ගැසෙන පොරොන්දුව පිට අපි කතාව නතර කලා.
මගේ දවස ගෙවුනා කේක් සහ රෝල්ස් හදන්න ගිහිං...
රැ රන්ජිව අයියා කතා කරලා මගේ මුඩ් අවුල් කලා. මම එයාගෙන් තිබුණා මිස් කෝල් දෙකකට කතා කලේ නැහැ.
මගේ ෆෝන් එක බිසී තිබ්බලු ගොඩක් වෙලා උදේ එයා රීටා පුංචි අම්මට කථා කරලා තිබුණා...... චෙක් කරන්න වෙන්න ඇති. මගෙන් අහනවා කව්රු එක්කද කතා කලේ කියලා....
මට බොරුවක් කියන හිතුණා... එත් මම නිකන් හිටියා. මට හිතුනේ එයා මගේ ජීවිතේට අනවශ්යණ බලපෑම් කරනවා කියලා. රන්ජිව අයියා මම කතා කල කෙනා එයා දන්නවා ලු
මම යකා නැග්ගා... දන්නවනම් අහන්නේ ඇයි. අනිත් එක ඔයාට කිසි අයිතියක් නැහැ මගේ ගැන හොයන්න.
අයිතියක් තියනවා ඒ හින්දයි අහන්නේ.... ඔයා දන්නවා මමයි ඔයාව බඳින්න ඉන්නේ... ඔයා කතා කලේ බ්‍රයන් එක්ක... එයාගේ ෆෝන් එකත් ඒ වෙලාවේ බිසී ..
බොහොම කණගාටුයි රන්ජිව අයියේ.... මම ජීවත්ව ඉන්නකන් මේ ආත්මයේනම් ඔයාට මාව බඳින්න වෙන්නේ නැහැ... වෙන අතක් බලා ගන්න
මම ෆෝන් එක තිබ්බා....
මගේ හිතේ රන්ජිව අයියා ගැන තරහක් සහ දුකක සම්මිශ්රකණයක් තිබුනේ.... අපේ පවුල් දෙක අතර තිබුණා හිතවත් කම නිසා ළගින් ඇසුරු කලාට අපි දෙන්නා ලොකු වෙනකොට කිසිම සම්බන්දයක් තිබුනේ නැහැ.
මම වචනෙකින්වත් රන්ජිව අයියට බලාපොරොත්තු දීලා තිබුනේ නැහැ... මම හැමදාම කිව්වේ ගෝත්රිනක බැදීම් වලට මම එකඟ නැහැ කියලා. ඒ වගේ මිතු දම නෑ කමක් කරගන්න මාව පාවිච්චි කරන්න එපා කියලා මම තාත්තටත් මුනටම කියලා තිබුනේ.
මගේ පැත්තෙන් මම රන්ජිව අයියට අසාධාරණයක් කලේ නැහැ කියලා මට ඕන වෙලාවක් කියන්න පුළුවන් ....මම වෙනස් වුනේ බ්රියන් නිසා නෙවෙයි....
මම ආදරේ කරන්න පටන් ගත්තේ බ්රයන් ආපහු දැක්ක දවසේ ඉඳලා....
මගේ කතාව දැනගෙන හිටියේ මම විතරයි.... හෙට මම සේත්ට හැමදෙයක්ම කියනවා..... මට සේත්ට මම සරෝජා කියලා ඔප්පු කරන්න ක්ර.මයක් තියනවා..... මගේ වාසනාව තියෙනවනම්..... හැමදේම හොදින් සිදුවෙයි....
අවදි කලා ඔබ නොසිතු මොහොතක .....මා සඟවා සිටි ආදරේ.........

වසන්තයේ මල් පොකුරු අරන්.....
නෙත්මි ඒක පාර්ෂිකව බ්‍රයන් සේත්ට ආදරේ කලා.... ඒක වුනේ ඉබේටම ....අහඹු ලෙස නෙත්මි බ්‍රයන්ව දැක්ක දවසේ ඉඳලම.... එත් බ්‍රයන්..... බ්‍රයන්ගේ හිතේ හිටියේ සරෝජා...... සරෝජා එක්ක තිබුණු මතකයන් එක්ක බ්‍රයන් ජිවත් වෙන්න පුරුදු වෙලා තිබුණා..... ඒ මතකයන් කෙතරම් ප්‍රබලද කිව්වොත් බ්‍රයන් විවාහය ප්‍රතික්ෂේප කලා.... බ්‍රයන්ට බල කරන්න කෙනෙක් හිටියෙත් නැහැ....
සරෝජා පැංචි කාලේ ඉඳල බ්‍රයන් සරෝජාට ආදරේ කලා.... අමුතු සිංහල කතාවෙන්.... තොර තෝංචියක් නැතිව දිගට දිගට කියවන කතා අහන්න බ්‍රයන් අසා කලා..... සරෝජා මුරුගන්ගේ හරි පාර්වතිගේ හරි අතේ එල්ලිලා ගෙදර යන හැටි නොපෙනී යනකම්ම පුංචි බ්‍රයන් බලන් හිටියා..... සරෝජා බංගලාවට නාව දවසට මුරුගන් සහ පාර්වතී තමන්ගේ දරුවා වෙනුවෙන් තමන්ට ලැබුණු කෑම පවා ඉතුරු කර ගන්න හැටි බ්‍රයන් දැක්කා. තමාගේ නිවස තුල වෙන වෙනම ලැබුණු ආදරේ එයාට දැනුනේ නැහැ... තමන්ගේ අම්මයි අප්පච්චියි ලෝක දෙකක් ජිවත් වීම ගැන දුක් වුණා. ඒ ලෝක දෙකීදීම දැනුනේ අසරණ කමක්.... ඒනිසා සරෝජත් එක්ක සෙල්ලම් කරන කාලයට බ්‍රයන් සතුටෙන් හිටියා... හිනාවුනේ කතාකලේ කෑ ගැසුවේ එතකොට.. විතරයි... නිහඬ චරිතයක් වුණා සරෝජා නැති තැන. ඉන්ගලන්තේ ගත කල කාලය ඒකාකාරී විදියට ගලා ගියා.... සරෝජා ලස්සන හීනයක් වගේ හිතේ කොනක ජිවත් වුණා... ලංකාවට අවුරුදු 12 කට පස්සේ ඇවිල්ලා තරුණ සරෝජව දැක්ක මොහොතේම ඒ සිහිනය අලුත් වුණා... දෙන්නම ආදරේ කරන්න ගත්තේ කිසිමදෙයක් ගැන හිතලා නෙවෙයි කියලා බ්‍රයන් දැනගෙන හිටියා
අවුරුදු විස්සකට පස්සේ දැන් නෙත්මි බ්‍රයන්ගේ හිත ළඟ නැවතිලා.... නෙත්මි ඇස් නෙත්මිගෙ හිනාව... කතාව තුලින් දැක්කේ සරෝජව... තමන් නෙත්මිට ආදරය කරනවා කියලා බ්‍රයන් හිතුවේ නැහැ.... එය නොවිය යුත්තක් වැරැද්දක් විදියට හිතලා තමන්ගේ හිතට අගුළු දැම්මා... හෙටින් පස්සේ හැමදෙයක්ම ඉවර කරන්න තමන්ගේ ලෝකේ අගුළු තද කර ගන්න බ්‍රයන් තරයේම හිතා ගත්තා...
තමන්ගේ ජිවිතයේ වසන්තය සරෝජත් එක්කම දිය ඇල්ලේ පතුලේ සැඟවුන කියලා බ්‍රයන් හිතා ගත්තා...
පහුවෙනිදා උදෙන්ම නෙත්මි නැගිටලා පික්නික් බොක්ස් එකට හැමදේම ලස්සනට දා ගත්තා.... ලස්සන මල් මිටකුත් ඊට උඩින් තිබ්බා... නෙත්මිගෙ දිහා රීටා පුංචි අම්මා බලන් හිටියේ පුදුමෙන්....
මේ කෙල්ල මෙහෙම ඉන්නවා මම කවදාවත් දැකලා නැහැ රීටා පුංචි අම්මා තනියෙන්ම හිතුවා...
ගෙදරින් යන්න ඔන්න මෙන්න තියලා ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා....
අපෝ රන්ජිව අයියද දන්නේ නැහැ... කියලා නෙත්මි හිතුවා.
එත් කෝල් එක රීටා පුංචි අම්මගේ ක්ලබ් එකේ සාමාජිකයකුගෙන් ...
සාමාජිකයෙක්ගේ අම්මා කෙනෙකුගේ හදිස්සි මරණයක්.... මැරුණු කෙනාගේ දේහය මතින් උත්සවයන්, නෑ මිතුරු හමුවවල් නොපවත්වන මුස්ලිම් සාමාජිකයෙකුගේ අම්මාගේ මරණයක් නිසා රීටා පුංචි අම්මට එකොළහ වෙනකොට ඒකට යන්න සිද්ධ වෙනවා කියලා මට කිව්වා....
අනේ පුංචි අම්මේ ඒ කියන්නේ අපි නෙක්ස්ට් යන්නේ නැද්ද...
නැහැ නැහැ අපි දැන් යමු.... එහෙ. මම කළින් එන්නම්... ආපහු එන කොට ඔයාව එක්කගෙන එන්නම්....
මහේ ඉහේ මලක් පිපුණි...... මම මගේ හිතට දැනුනු සතුට හංග ගත්තේ බොහොම අමාරුවෙන්....
සෙත් අපිව උණුසුම්ව පිළිගත්තා..... පුංචි අම්මගේ මුනෙන්ම මට තේරුණා සෙත් එයා කැමති ටයිප් පුද්ගලයෙක් බව.... දෙන්නට ඉන්ගලන්තේ ගැන කතා කරන්න බොහෝ දේ තිබුණා.... දිය ඇල්ලට යන ගමන් ඒ දෙන්නගේ කතාව .... මම නිහඩවම මගේ සිතුවිළි වලට පියාබන්න ඉඩ දුන්නා....
රීටා පුංචි අම්මා අපිත් එක්ක දිය ඇල්ල ගාව බ්‍රෙක්ෆස්ට් අරගෙන දිය ඇල්ලේ අසිරිය විඳලා සේත්ට එයාගේ ක්ලුබ් එකට බැදෙන්න ආරාධනා කරලා සමන් එක්ක යන්න පිටත් වුණා.
මාව ආපහු ඇරලන්න රීටා පුංචි අම්මට සෙත් පොරොදු වුණා....
දැන් අපි ආපහු දිය ඇල්ලට යනවද.... කියලා සෙත් මගෙන් ඇහැව්වේ මගේ චෝකොලට් කේක් කෑල්ලක් තුවෙනි සැරේටත් කන ගමන්....
ඔව් යන්නම ඕනේ..... මට දෙයක් තියනවා ඔයාට පෙන්නන....
මම වාසනවන්තනම් මම කවුද කියලා මම ඔයාට ඔප්පු කරනවා....
අපි දෙන්නා ආය දිය ඇල්ලට යන පාරට වැටුනා....මට සෙත් ගේ අත ඇල්ලුනේ ඉබේටම...
ඔබ මා හමුවුනු දා දෑත් දරා
පෙර භවයක බැඳුනා මෙන් දැනුනා
සවනට රහසින් කීවා මට ආදරෙයි කියා
මට ආදරෙයි කියා
ඔබ ඇස්පිය නොහෙලා බැලුවා
මගෙ දෑස් දිහා
මම ඇස්පිය නොහෙලා බැලුවා
ඔබෙ දෑස් දිහා

නොනිමි එකොළහ .... ඔබෙත් මගෙත් අතීතය .... වර්තමානය වුන අරුමය....
අත අත නෑර තදින් අල්ලා ගත් සෙත් කිසි වෙනසක් නැතිව ඉදිරියට ඇදුනා. එත් මොහොතින් එයා විදුළි සැර වැදුනා වගේ මගේ අත අතහැරියා.
සා... සා සමාවෙන්න නෙ...නේත්මි මම... මම මොහොතකට හිතුවේ මම සරෝජාගේ අත අල්ලාගෙන හිටියා කියලා...
සෙත් අමාරුවෙන් ඒ වචන ගැට ගහගෙන මට කිව්වා.... මම සේත්ගේ මුණ දිහා බලලා බීම බලාගත්තා.. ඒ අසරණ මුණ දිහා තව මොහොතක් මම බලාගෙන හිටියානම් මට හොදටම අඬන්න වෙනවා....
මම හිතින් දහස්වාරයක් මම ඔයාගේ සරෝජා තමයි කියලා කැගහලා කිව්වා....
ඊට පස්සේ අපි දෙන්නම කතා කෙරුවේ නැහැ.... නිහඬවම ඇවිද්දා. මගේ හිත ගොඩක් කලබල වෙලා තිබුනේ...
මාව සෙත් කොහොම තේරුම් ගනීද... එයා විස්වාස කලේනැත්නම්... මම මොකද කරන්නේ.... අපිට සමු ගන්න වෙයිද...
එයා මම කියනදේ මුළු හදින්ම පිලිඅරගත්තොත්.... අපි ආදරේ කරන්න පටන් ගත්තොත්...
මම අම්මලට කියන්නේ මොනවද.... රන්ජිව අයියා???
මේ හැමදේම මගේ හිත ඇතුලේ නැගෙන බිඳෙන රළ වගේ ඇතිවුණා නැතිවුණා....
අපි දිය ඇල්ල ගාව නතර වුණා...
නිහඬ බව බින්දේ මම...
සෙත්... ඔයා මම මේ කියන දේ හොදින් අහගන්න ... ඊට පස්සේ ඔයාට කැමති තීරණයක් ගන්න. ඔයා ගන්න ඕනෑම තීරණයකට මම එකගයි.
ඔයාට ඔයාගේ දහානමවෙනි උපන්න්දිනය මතකද?
අමතක වෙන්න විදියක් නැහැ ඔයාට...
ඔයයි සරෝජයි කෝවිල ගාව අතුරු පාරකදී මුණ ගැසුණා....ඊට පස්සේ වෙන් වුණා. ඔයා සරෝජාට දුන්න තෑගි පෙට්ටිය මතකද.... ඒක අරගෙන සරෝජාට ගෙදර යන්න විදියක් තිබුනේ නැහැ .... ඔයාගෙන් වෙන් වුන සරෝජා දිය ඇල්ල පැත්තට ගියා ඒක හංගන්න. සරෝජාට එයාටම වෙන්වුන පුංචි ගුහාවක් තිබුණා දිය ඇල්ල ගාව.
නෙත්මි ඔයානම් කතා හදල කියන්න හරි දක්ෂයිනේ...
ඉන්න සෙත් මම තාම කතාව කියලා ඉවර කලේ නැහැ... මම් ඔයාගෙන් ඉල්ලන්නේ අහගෙන ඉන්න.... සරෝජා ඔයාගෙන් වෙන් වුනාට පස්සේ ඔයා සරෝජාට මොකද වුනේ කියලා දන්නේ නැහැනේ...එත් මම දන්නවා...
හොදමයි මැඩම් මම අහන් ඉන්නේ කියන්න.... සේත්ට මේක විහිළුවක්
සරෝජා එයා ඇඳන් හිටිය දම් පාට සල්වාර් එකේ සේලේ අර පෙට්ටිය එතුවා. ඊට පස්සේ දිය ඇල්ල ගාව ගුහාව ඇතුලේ ගල් දෙකක් අතර එක හැංගුව. ඊට පස්සේ එයා ආපහු ගෙදර යන්න එනකොට දැක්ක වේළුව.
සරෝජාට වේළුව මග හරින්න ඕන වුණා... සරෝජාට අම්මා කියලා තිබුනේ වේළු එක්ක කෝවිල් යන්න කියලා...
සරෝජාට මතක් වුණා වේළු මග හැරලා කෝවිලෙන් මතුවෙන්න පුළුවන් දිය ඇල්ල මැද්දෙන් තියන පාර. සරෝජාට එකම එක දවසක් මුරුගන් එයාව එක්ක ගිය මතකේ තිබ්බා.
සරෝජා වෙලුට නොපෙනී ආපහු දිය ඇල්ල ගාව තියන ගුහාවෙන් ඇතුලට ගියා.... පාර මතුකර ගන්න අමාරුවක් වුනේ නැහැ... කළුවර තමයි ප්‍රශ්නෙකට තිබුනේ... එත් සරෝ කළුවරට බය කෙල්ලෙක් නෙවෙයිනේ.බ්‍රයන් හාමුව හම්බවෙන්න රැ තනියම කී දවසක්නම් ආවද...
සරෝජා හිමින් ඉස්සරහට ගියා... වවුල් ගඳයි දිය ඇල්ලේ සද්දේ විතරයි සරෝජාගේ තනියට හිටියේ... ටිකක් ඉස්සරහට යනකොට පාරවල් දෙකකක් සරෝජා ඉස්සරහ තිබුණා. සරෝජාට මොන පාරෙන්ද යන්නේ කියලා නිච්චියක් තිබුනේ නැහැ.... ආපහු හැරිලා යනවා කියලා සරෝජා තීරණය කලා.
ආපහු හැරුණා විතරයි තමන්ගේ ඉස්සර කවුරු හරි හිටගෙන ඉන්නවා කියලා සරෝජා දැක්කා... කළුවරේම වුනත් ඒ වේළු කියලා සරෝජා අඳුර ගත්තා.
උඹට ඕන වුනේ අර හාමුව හම්බවෙලා මාව මග අරින්න නේද ... සරෝජා හොඳටම බය වුණා.
වේළු සරෝජාව එයා ගාවට ඇදල ගත්තා... සරෝජා තමන්ගේ මුළු ශක්තිය යොදල වේළුව තල්ලු කරලා ඉස්සරහට දිව්වා... සරෝජා දිව්වේ මොන පාරෙන්ද කියලා මතක නැහැ... මීටර පනහක් විතර යනකොට සරෝජව එක පාරටම පල්ලෙහට වැටුණා. පල්ලෙහට වැටෙන ගමන් ඔළුව කළු ගලක වැදෙනවා විතරයි මතක.
ඊට පස්සේ වුණු දේවල් ඔයා දන්නවා සෙත්....
නෙත්මි ඇයි ඔයා මගේ හැගීම් එක්ක සෙල්ලම් කරන්නේ.... ඇයි ඔයා සරෝජව මතක් කරලා මාව අසරණ කරන්නේ.... මම ඒ කෙල්ලට මම මැරෙන තුරුම ආදරෙයි.... ඔයාට බැහැ එයාගේ තැන ගන්න....
කරුණා කරලා ඔය කතාව නවත්වන්න. ප්ලීස්...
දෙයියන්ගේ නාමෙට ඇයි ඔයා තේරුම් ගන්නේ නැත්තේ...
මම ඔයාගේ හැගීම් එක්ක සෙල්ලම් කරේ නැහැ සෙත්.... ඇයි ඔයා තේරුම් ගන්නේ නැත්තේ මම මම ඔයාගේ නැතිවුන .......
එන්න මාත් එක්ක අපි වළලු පෙට්ටිය හොයමු... සෙත් වචනයක්වත් කතා නොකර මාත් එක්ක අවා.
සරෝජා හංගල ගිය විදියටම වළලු පෙට්ටිය තිබුණා... සේලේ පස් අස්සේ දියවෙලා ගිහිං...
නෙත්මි සහ සෙත් වළලු පෙට්ටිය අරන් එළියට අවා....
නෙත්මි ඒ කියන්නේ ඔයා මගේ සරෝජා....
නැහැ සෙත් මම ඔයාගේ නෙත්මි....ඔයාගෙන් වෙන්වුන සරෝජා නෙත්මි විදියට ඔයා ගාවට ඇවිත්...
මට මේ කිසිදෙයක් අදහ ගන්න බැහැ නෙතිමි....
හරිම සරලයි සෙත් අවුරුදු විසි එකකට පස්සේ අපි ආයෙත් මුණ ගැසුණා....
කියන්න මම ඔයාට ආදරේ කරන තරමටම ඔයත් මට ආදරේ කරනවද සෙත්...
ඔව් නෙත්මි .... එත් ... අපි දෙන්නගේ වයස් පරතරය
එත් කියන්න එපා සෙත්.... වයසෙන් නෙවෙයිනේ ආදරය මනින්නේ.... ආදරය කරන්නේ... අපිට අලුතෙන් ආදරයක් පටන් ගන්න දෙයක් නැහැ සෙත්.... අපි එදා ඉඳලම අපිට ආදරේ කලා... මන්ද මට හිතෙන විදිය.
හ්ම්ම්ම්ම්ම්... දැන්නම් කොහෙත්ම මට ඔයාගෙන් වෙන් වෙන්න බැහැ නෙත්මි.... අපි වෙන්වෙලා හිටිය කාලය හොඳටම ඇති.
ගිවිසා ගනිමු අපි.... පෙම් යුවලක් සේ කිසිදා වෙන් නොවෙනා....
සෙත් මම එදා වැස්ස දවසේ ඔයාව දැක්ක මොහොතේ ඉඳලම ඔයාට ආදරේ කලා.... මට හැමදේම මතක් වෙන්න ගත්තා...
සරෝජා ඇර මගේ ජිවිතේ ගැහැණු කෙනෙක් හිටියේ මගේ අම්මා විතරයි..... ආදරේ කරන්න පුළුවන් හිතක් ලේසියෙන් හොයන්න බැහැ... නෙත්මි. ඔයාව එදා දැක්කහම මගේ හිත ඔයාව හෙව්වා.... ඔයා කුණාටුවක් වගේ මගේ හිත දවසින් දවස ආක්ර මණය කලා.
ඇත්තම කිව්වොත් ඔයාව දකින්න මට ඕන වුනත් මම බය වුණා.
වෙන්වෙලා හිටිය කාලය වැඩි හින්දද කොහෙද අපි දෙන්නටම කාලය පිලිබඳ හැගීමක් තිබුනේ නැහැ...
අපි දෙන්නා දවල්ට බත් කෑවෙත් නැහැ.... අපිට ඇතිවෙන්න කෑම පික්නික් බාස්කට් එකේ තිබුණා... ඒ ඇරත් අපි දෙන්නටම බඩගිනි දැනුනේ නැහැ... අපේ හිත් සතුටින් පිරිලා තිබුණා...
මේ සතුට කොයි කාලයක් තියෙයිද දන්නේ නැහැ... අපි දෙන්නා තීරණය කලා මගේ අම්මලට මේක දන්වන්න...
අපි දෙන්න ගොඩක් සතුටින් ආපහු බංගලාවට අවා.... මුරුගන්ට සෙත් මාව මේ ඉන්නේ ඔයාගේ දුව කියලා පෙන්නුවා.... අගක් මුලක් දන්නේ නැති වුනත් අප්පා මාත් එක්ක හදවතින්ම හිනා වුණා....
මට දැන් තාත්තල දෙන්නයි.... මගේ මතකයේ දම් වැල මගේ ජිවිතයේ පුරුක් දෙකක් යා කරලා.... භෞතිකව සම්මතයන් අනුව සරෝජත් මාත් අතර වෙනසකම් ගොඩයි.... එත් අපි එකම හදවතකට ආදරය කරමු... ඒ සෙත්... ඒ නිමා නොවන ආදරය, සරෝජව සෙත්මි කරලා ...සෙත්මිව සරෝජා කරලා...
සංසාර ගමනේ මම දැන් සරෝජා නොවේ... කවදාහරි දවසක නෙත්මිත් නොවනු ඇත. අප සිරුරු තුලින් ආදරය ගමන් කරණු ඇත.
රීටා පුංචි අම්මගෙන්.... අම්මගෙන්... රන්ජිව අයියගේ.... ඔක්කොම මිස් කෝල් දහයයි....

නොනිමි දොළහ...... ඔබ මගේ ළඟ එදා වගේම අදත්.... එක්ව පිය නඟමු වෙන්වීමක් නැති මාවතක
ජිවිතේ කියන්නේ දවසින් දවස අලුත් පිටුවක් පෙරළන පොතක්...... එකම වෙනස තියෙන්නේ පිටුව පෙරලෙනකන් අපි දන්නේ නැහැ අපේ ජිවිත ගැන මොනවා ලියවිලා තියනවද කියලා..... එක පිටුවක්වත් මග ඇරලා අනිත් පිටුව කියවනත් බැහැ... ජීවිතය පිටුවෙන් පිටුව ගලා ගියා... උත්සහයෙන් වීර්යයෙන් පිරුණු අතලොස්සක් මිනිසුන් ඒ පෙරළෙන පිටුවල අන්තර්ගතය තමන් කැමති විදියට වෙනස් කර ගත්තා. බහුතරයක් පෙරළුණු පිටුව බාර ගත්තා.
නෙත්මිටත් සෙත්ගේත් ජීවිතවල අද පෙරලුනේ අතීතයෙන් ගෙන ආව මතක පිටුවක්.... එකේ බාරගන්නවත් වෙනස් කරන්නවත් දෙයක් තිබුනේ නැහැ. පිටුව පුරාම ගලා ගියේ ආදරයේ මතක සුවඳ විතරමයි.... ඒ සුවඳ විඳින්න ඒ අතීත ආදරයට ඉඩ දෙන්න බාධක ජය ගන්න දෙන්නම තනියම හිතා ගත්තා.... නැවත හමුවුණු ආදරයේ සතුට දෙන්නගෙම මුහුණු පුරා ලියවිලා තිබුණා.
දශක දෙකක කාලයක් පුරාවට තමන්ගේ ජීවිතය වෙලාගත් අසීමිත තනිකම අතුරුදහන් වෙලා ජීවිතේට අරමුණක් ඇතිවෙලා.... මරණය බලාපොරොත්තුවෙන් මන්දගාමිව ගෙවුණු හිස්වුනු ජිවිතයට .... සරෝජා නෙත්මි වෙලා ආදරය පිරුණු ලෝකයක් මොහොතින් උදාකරලා.. . සෙත්මි සරෝජා තමා කියලා ඔප්පු කරන්න ගත්තා මොහොතට සෙත් ආපහු මතක් කලා.... වෙන්න යන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව ඒ මොහොත. පුනුරුප්පතිය ගැන අහල තිබුණා. ඒ මොනවා විස්වාස කලත් නොකළත් නෙත්මි තමන්ගේ නැතිවුණා සරෝජා බව සේත්ගේ හදවතට හොදින්ම දැනුනා. තෑගි පෙට්ටිය නොපෙන්නුවත් අතීත සම්බන්දයන් නොකිව්වත්නෙත්මිට ආදරයක් තමන්ගේ හිතේ ඇතිවෙලා තිබුණු බවත් අතීත මතකය කලේ සැඟවුණු ආදරය තහවුරු කිරීම කියලා සෙත් තනිවම හිතුවා.
තමන් ජිවිත කාලය පුරාවට තිබුණු හිස්තැන සම්පුර්ණ වුණු බවත් ... කඳුකරයේදී හැමදාම දැනුන ජිවන සුවඳ වින්දේ සෙත් මුණ ගැසීමෙන් පස්සේ කියලා නෙත්මි සේත්ට කිව්වා... මම හැමදාම හුස්ම ගන්න බව දැනුනේ කොළඹ ඉඳල මෙහේ ආවහම .... මට එහෙම දැනෙන්න හේතුවුනේ ඇයි කියලා මම දැනගත්තේ ඔයා නිසා
රන්ජිව අයියට මම කවදාවත් ආදරය කලේ නැහැ.... මට කවදාවත් ආදරයක් දැනිල තිබුනෙත් නැහැ.... එත් මගේ හිතේ කෙනෙක් හිටියා... එයා කළුද සුදුද කියන්නවත් මම දැනගෙන හිටියේ නැහැ... මට හීනෙන්වත් එහෙම කෙනෙක් පෙනුනේ නැහැ. එත් එදා ඔයාව දැක්කම මට දැනුනා මගේ හිතේ හිටියේ ඔයාකියල සෙත්.... මගේ මතකය උල්පතක් වගේ මතුවුනේ එදා රැ ඔයාගේ මුණ දැක්කට පස්සේ.... ඊට පස්සේ වුණු හැමදෙයක්ම ඔයා දන්නවා.
මම එක දෙයක් කියන්නම් නෙත්මි .... මට දෙවෙනි වතාවටත් ඔයාව නැති කර ගන්න බැහැ.... අපිට ආපහු අතරමග වෙන් වෙන්න බැහැ.... අපිට අපිව අඳුරගන්න දෙයක් නැහැ.... මගේ ගාව ඉන්නේ එදාටත් වඩා ලස්සන සරෝජා කෙනෙක්.... සෙත් හිනාවුණා..... නෙත්මි දිහා බලලා....
හ්ම්ම්ම් අපේ සංසාරගත ආදරය.... අපේ නොනිමි ආදරය..... වෙන්වුනත් අවසන් නොවූ ආදරයේ මතක සුවඳ.....
නැවත වෙන්වීමක් මම තුන් හිතින්වත් ප්රඅර්ථනා කරන්නේ නැහැ.... සෙත්
මොනදේ වුනත් අපි දෙන්නා එක තීරණයක් ඉමු....
මම අම්මට කියන්න ඕනේ මේක ....මොන ප්රිතිචාරයක් ආවත්.....
ඔව් මම ඔයාට පුළුවන් උදව්වක් කරන්නම් ඔයාට තනියෙන් මේ සටන් කරන්න වෙන්නේ.... මගේ පැත්ත නිදහස්....
මුරුගන් බංගලාවේ ඉඳල අපිට කන්න කතා කරන්න අවා..... බ්‍රයන් හාමු ....... හාමුගේ මුණ ඉර පායල වගේ හරි සතුටෙන්....
ම්ම්ම්ම්ම් ඔව් මුරුගන් ඉර විතරක් නෙවෙයි හඳත් පායයි..... මට සරෝජවගේ යාළුවෙක් හම්බවුනානේ......
මුරුගන් මගේ අප්පා.... මම කකුල් දෙක අල්ලලා මගේ ගියා ආත්මේ තාත්තා මුරුගන්ට වැන්ඳා... මුරුගන්ට තේරුමක් නැහැ.... එත් ආදරයෙන් මගේ ඔළුව අත ගෑවා... ...
මම එදා ඔබේ දුව.... අද ඔහුගේ දුව...... මිනිසුන් වෙන්කරන කාලයද මේ වෙනස මවන්නේ
කන්න හිටියොත් තවත් පරක්කු වෙන නිසා අපි දෙන්නම දියතලාව යන්න වාහනයට නැග්ගා.
සෙත් නිහඬවම වාහනේ ඩ්‍රයිව් කලා.... සතුට වැඩි නිසා මාත් හිටියේ කතා පෙට්ටිය වහලා... ඒ සතුට තිබුනේ ටික වෙලාවයි.... දියතලාවට ලන්වෙනකොට, අම්මා රන්ජිව අයියා .... තාත්තා.... රීටා පුංචි අම්මා යෝධයෝ වගේ මගේ ඉස්සරහ හිටගෙන... මට බය හිතුණා....
සෙත්... මට බයයි.... මම ඉවසන්න බැරිම තැන කිව්වා.....
බයවෙන්න එපා මම ඉන්නවා.... එත් මාවම තමයි ඔයාට ප්රශ්නේ වෙන්නේ නේද?
මට හිතා ගන්න බැහැ ඔයාගේ පෙරන්ට්ස්ලා අපි දෙන්නා දිහා කොහොම බලයිද කියලා....
රන්ජිව කොහොම ගනීවිද දන්නේ නැහැ....
මට හිතා ගන්න බැහැ.... අම්මා එක්කනම් මම යාළුවෙක් වගේ ඕන දෙයක් කියන්න පුළුවන් එත් තාත්තා.... එයාගේ තීරණ ගලේ කෙටූ අකුරු වගේ.... වෙනස් කරන්නේ නැහැ.... අනික රන්ජිව එයාගේ යාළුවගේ පුතානේ...
අනිත් ප්රශ්නේ මට තියෙන්නේ සෙත් මගේ මේ අතීත මතකය ඒ අය පිළි ගනීවිද... ඔයාට නම් මාව දැනුනා එත් ඒ අයට.... මාව විස්වාස නොකර හිටියෝත්.... මගේ මතකයේ හිටියේ ඔයා කියලා ඔප්පු කරන්න මට කිසි දෙයක් නැහැ.
අපි ඩ්රීහම් හවුස් යනකොට මම ඈත තියාම දැක්කා රන්ජිව අයියගේ වාහනේ.... මේ මනුස්සය ආපහු ඇවිල්ලද .... මට තරහත් අවා... මම එතකොටම දැක්ක අම්මව....
අම්මා ඇවිල්ලද කොහෙද රන්ජිව අයියත් එක්ක.... ජංජාලයයි.... ෂුවර් එකටම මොනවා හරි අවුලලා ඇති රන්ජිව අයියා.... මම ඔයාව අම්මට අඳුන්වල දෙන්නම් එන්න.... එන්න මාත් එක්ක
තුන්දෙනාම අපේ දිහා බලාගෙන .... රන්ජිව අයියානම් බලන් හිටියේ ලෝකේ තියෙන ලොකුම අපරාදේ අපි දෙන්න කලා වගේ. මම එයාගේ මුණ මග ඇරලා අම්මත් එක්ක සුහද හිනාවක් දැම්මා.... සෙත් මගේ ළගින්ම...
රීටා පුංචි අම්මානම් සෙත්ව උණුසුමින් පිළිගත්තා... මට ලොකු සහනයක් දැනුනා....
අම්මා මේ සෙත්.... අම්මට මම කියලා තියෙන්නේ .... අපිට උදව් කලේ අපේ වාහනේ කැඩුණු වෙලේ.....
අම්මා සෙත්ව හිනාවකින් පිළිගත්තා.... රන්ජිව අයියා සෙත් එක්ක යන්තම් හිනාවුණා.අම්මෝ හිතේ තියන ඉරිසියාව.... මට මුණටම කියන්න හිතුණා.
සෙත් ටික වෙලාවක් ඉඳල ආපහු ගියා.... මම අම්මවත් රන්ජිව අයියාවත් ගැන හිතන්නේ නැතිව සෙත්ව ඇරලන්න වාහනේ ගාවටම ගියා....බයවෙන්න එපා නෙත්මි මොනදේ වුනත් අපි දෙන්න එකට එක තීරණයක් ඉමු....
සේත්ගේ වාහනේ මගේ ඇස් මායිමෙන් නොපෙනී යනකම්ම බලන් ඉඳල මම ගෙදර ඇතුළට අවා...
පුතේ ඔයා අද අපිත් එක්ක යන්න ලෑස්ති වෙන්න ඕනේ.... මම ගෙදර ඇතුළට එනකොටම අම්මා කිව්වා...

නොනිමි දහතුන මම ඔබේ නොවේනම්... ඔබ මගේ නොවේනම්.... අපි අපේ නොවුනෝතින්.....
“පුතේ ඔයා අද අපිත් එක්ක යන්න ලෑස්ති වෙන්න ඕනේ” බොහොම සංයමයෙන් අම්මා මට කිව්වත් මට දැනුනේ ඒක විධානයක් විදියට....
මම විධාන වලට කවදත් කැමති නැහැ... කාරුණිකව යමක් පැහැදිලි කරලා දුන්නොත් අහන ගතියක් මගේ තිබුණා. එත් මට යමක් බලෙන් කරන්න කිව්වොත් ඒක නොකරන මුරණ්ඩු කෙල්ලෙක් මම....
දැන් හොදටම හවස්වෙලා කීයට යන්න හිතන් ඉන්නවද දන්නේ නැහැ. මුකුත් නෑසුන ගානට මම කාමරේට ගියා... මේ වෙලාවේ කරණ පැහැදිළි කිරීම් මගේ අවාසියට හිටීවි කියලා... මගේ හිත මට කිව්වා....
මොනදේ වුනත් මගේ හිත ශක්තිමත් කරගන්න මම හිතුවා....
වොෂ් එකක් දාල මම කාමරේට අවා ... අම්මයි රීටා පුංචි අම්මයි දෙන්නම මගේ කාමරේ... දෙන්නගේ මුහුණු වලින් මට තේරුණා මම සී අයි ඩී ප්ර.ශ්න කිරීමකට හසුවන බව... මගේ ආතතිය අඩුවෙලා තිබුනේ... සෙත් පණිවිඩයක් එවලා තිබුණා.... ඕන දේකට මම ඔයත් එක්ක
මම ස්මයිලි ෆේස් එකක් දාලා ☺ I love you කියලා රිප්ලයි කලා....
මොනදේ වුනත් ආපහු හැරෙන්නේ නැහැ කියන ස්ථාවරේ මම ඒ වෙනකොට හිටියා.
අපේ ආදරේ අද ඊයේ පටන් ගත්තු දෙයක් විදියට අපි දෙන්නටම දැනුනේ නැති එක වෙන්න ඇති ඒකට හේතු වුනේ...
අම්මා මුලින්ම කතා කලා.... පුතේ මොකද්ද මේ කථාව....
මොකක් ගැනද අම්මා කියන්නේ...
රන්ජිව කියන්නේ අර හවස ඔයාව ඇරලුව සෙත් කියන ළමයා එක්ක ගොඩක් එකතුයි කියලා....
අඃ... මම අදනේ දන්නේ රන්ජිව අයියට පේන කියන්න පුලුව කියලා... ඇයි අම්මා මගෙන් අහන්නේ...එයාගෙන්ම අහගන්න.... අනිත් එක අම්මට අමතක වෙලා මමයි අම්මගේ දරුවා කියලා....
මට තරහ ගියේ ඉබේටම.... අම්මා රන්ජිව අයියාගේ නම කිව්ව නිසා.... මටනම් දැන් ඇත්තටම එයාව පේන්න බැහැ... ඉස්සර තිබුණු යාලුකමත් නැති වෙලා වගේ දැනෙනවා...
මම හිත ආපහු අමාරුවෙන් සන්සුන් කරගත්තා.... ඉතින් අම්මා.... අම්මා දැක්කනේ අද හවස සෙත් මගේ හොද යාලුවෙක්... යාළුකමේ ගැඹුර කියන්න බැරි තරම්...
මම අහන්නේ පුතේ යාළු කමට එහා ගිය දෙයක් තියනවද කියලා....
අම්මේ යාළු කමින් එහාද... මෙහාද... කියලා කියන්න මම දන්නේ නැහැ .... එත් මම අම්මට අද මේක රෑට කෝල් කරලා හරි කියන්න හිටියේ.... රන්ජිව අයියගෙන් අම්මට දැනගන්න තියන්න මට අවශ්යම නැහැ....
මම සේත්ට.... සෙත් මටත් ... අපි දෙන්න අපි දෙන්නට ආදරේ කරනවා.... ඒක අද ඊයේ ඇතිවුන හැගීමක් නෙවෙයි අම්මේ... අම්මට මට ඔප්පු කරන්න බැහැ එත් අම්මා මාව විස්වාස කරයි කියලා මම හිතනවා.....
මම රීටා පුන්චිඅම්මා සහ අම්මාට එදා සෙත්ව මුළින්ම දැක්ක දවසේ ඉදල මට දැනුණු මගේ පෙර ආත්මේ මතකය ගැන හැමදේම කිව්වා.... අපි අතර ආදරය ඉබේම ඇතිවුණු බවත් මම කිව්වා...... මම හිතන්නේ මම හැම දේම එක හුස්මට කිව්වා වාගේ.... මට ලොකු සැහැල්ලුවක් දැනුනා...
දෙන්නම හරස් ප්රමශ්ණ කිසි දෙයක් ඇහැව්වේ නැහැ.... මගේ කතාව අහල මුණට මුණ බලාගෙන, අම්මගේ ඇස් කොනේ තිබුණු කඳුළු බිංදුවක් බිමට වැටෙනවා මම දැක්කා. මට අම්මා ගැන දුක හිතුණා.
දුවේ.... අම්මා මට දුවේ කියනවා ඔය ඇහැව්වමයි මම....
ඔයා බොරුවක් කරනවා.... බොරුවක් කිව්වේ කියලා මම හීනෙන්වත් හිතන්නේ නැහැ..... ඔයා කිව්ව කතාව මම පිලිගන්නවා... ඔයාට ඔය මතකේ ආපහු ආව එක ගැන මට පුදුමයි.....
මට තේරෙන්නේ නැහැ අම්මා.... අම්මා කොහොමද මගේ මතකය ගැන දන්නේ..... අම්මට මම මීට කළින් මුකුත් කිව්වේ නැහැ...
අතීත මතකය පැත්තක දාමුකෝ අපි.... වර්තමානයට එන්න....පුතේ.... ඔයා දන්නවා ඔයාගේ විවාහය තීන්දු වෙලා ඉවරයි. ඔයා බඳින්න ඕනේ රන්ජිව අයියව.... ඒක ඔයා නොදන්නා කාරණයක් නෙවෙයි. ඉතින් පුතේ කොහොමද කියන්නේ ඔයා දැන් සෙත්ට ආදරෙයි කියලා....
මං හිතන්නේ සෙත් ඔයාට වඩා අවුරුදු විස්සක් විතර වැඩිමල් ඇති.... ඒකම ඇති....
අම්මේ... පොඩ්ඩක් ඉන්න.... මම අහගෙන අපේ තාත්තයි රන්ජිව අයියගේ තාත්තයි අපි දෙන්න ලොකු වුනාම බන්දලා දෙමු කියලා කතාවුනේ.... අපි දෙන්නා පොඩි කාලේ එකට සෙල්ලම් කරනවා දැකල කියලා....
මොන අදහසකින්ද ඒ දෙන්නා තීරණය කලේ අපි දෙන්නා ලොකු වුනාම ආදරේ කරයි කියලා.... ඒක හරි පටු අසාධාරණ තීරණයක් අම්මා.... මම පිළිගන්නවා දෙමවුපියන්ට දරුවන්ගේ විවාහය සම්බන්දයෙන් බලපෑම් කරන්න අයිතියක් තියනවා.... ඒ අයිතියට මම ගරු කරනවා....
එත් එත් මේ කරලා තියෙන්නේ අමු අමුවේ මගේ අයිතිය නැති කිරීමක්.... මට අවස්තාවක් දීලම නැහැ.... මට යන්තම් ඔය ගැන ඉව වැටුණු දවසේ ඉඳල මම ඕකට විරුද්ධ වුණා.... ඕවා ගෝත්රි.ක ලක්ෂණ...
අනිත් එක විවාහය කියන්නේ ගැහැණියෙක් සහ පිරිමියෙක් කොළයක අත්සන් කරලා එකට ජිවත් වෙන්න සමාජය ඉස්සරහ දෙන ප්ර්තිඥාවක් නෙවෙයි....
විවාහය කියන්නේ ගැහැනිකගේ සහ පිරිමියකුගේ හදවත් දෙකක් අතර ඇතිවන ආදර හැගීමක්....නිසා ඇතිවන පවුද්ගලික බැදීමක්. එහෙම හැගීමෙන් බැදුණු මිනිසුන් තමයි අම්මේ ජිවිත කාලයක් එකට ඉන්නේ.....
අම්මට ඒක මම කියන්න ඕනේ නැහැ.... අම්මයි තාත්තයි මගේ උදාහරණය.... ඔය දෙන්නා බැන්දේ යෝජනාවකින් නෙවෙයිනේ....
ඇයි එහෙනම් මට විතරක්.... ඇයි මම.... මගේ ගිය ආත්මේ මතකය නොවුනත්.... සෙත්ව හමුනොවුනත්.... මම, මගේ කැමැත්ත රන්ජිව අයියට නැහැ.... සෙත් නිසා වෙනස් වුනේ නැහැ මම.... සෙත් නිසා රන්ජිව අයියගෙන් ඈත් වෙනවා නෙවෙයි අම්මා... මම රන්ජිව අයියට මොහොතකටවත් ආදරය කලේ නැහැ...
ආදරය, ආදරය කියන හැගීම.... පිරිමි කෙනෙක් ගාව ඉන්නකොට දැනෙන ඒ වෙනස... මට මුළින්ම දැනුනේ සෙත් නිසා....මගේ මතකය එක සංසාරගත බැදීමක් කියලා ඔප්පු කරනවා..... මගේ ජීවිතය සෙත් ගාව නැවතිලා අම්මා ඉන් එහාට මට අඩියක්වත් යන්න බැරිවෙයි.....අපි දෙන්නගේ නොගැලපිමකට ඔයා දකින්නේ වයසනම්..... රන්ජිව අයියත් මාත් අතර ගැලපීමකට තියෙන්නේ වයස විතරයි...
ඒක නෙවෙයි අම්මේ මට කියන්න ඔයා මගේ පෙර ආත්මේ මතකය ගැන පුදුම නොවුනේ ඇයි... ඔයා ඒක ගැන දැනන්හිටියද යමක්...
පස්සේ වෙලාවක කියන්නම්... පුතේ....
ළමයෝ මගේ හිස කැරකෙනවා..... මගේ ඔළුව යකාගේ කම්මල වගේ.... තාත්තාට මම කියන්නේ මොනවද...
.... අර ළමයට රැ වෙලා යන්න බැහැ ...අද නවතිමු කියලා එන්නම් මම
අම්මා කාමරෙන් එළියට ගියා...
හැමදේටම උදැල්ල දාන රීටා පුන්චිඅම්මා හ්ම්ම්ම්ම් සද්ධයක් නැහැ.... අනේ දෙවියනේ.... මොන අන්චියක් ප්ලෑන් කරනවද දන්නේ නැහැ කියලා මම හිතුවා විතරයි....... පුන්චිඅම්මා මගේ ළඟ. ළඟට එනකම් මම දැක්කේ නැහැ....
දුවේ... මම ඔයාට රන්ජිව නරකයි කියලා කියන්නේ නැහැ.... එත් ජිවිතේ සමහර වෙලාවට.... අපි ඒ අවස්ථාවදී තීරණයක් ගත්තේ නැත්නම්.... මුළු ජිවිත කාලෙම බලන් හිටියත්... ඒ මග හැරුණු අවස්ථාව ආය එන්නේ නැහැ....
when it’s come to love …….now or never.... I think you should be with Brayan…. I’m with you sweetheart. Never want anyone in this world to go through the life I’m going through….
She came to me and hugged me…. All we both did was crying…..
තැන්කු පුංචි අම්මා... කදුළු අතරින් මම සිනාසුනෙමි.........

නොනිමි දාහතර.....
පළමුව දැනුන ආදරය කියන්නේ මරන්න පුළුවන් හැගීමක්ද....
ඩ්රීමම් හවුස් පුරාම ලොකු නිශ්ශබ්ද බවක් පැතිරුණා. මට දැනුනේ එකිනෙකා එකිනෙකාට රහසින් කතා කරනවා වගේ.මුකුත් නොවුනා වගේ රැ කෑම අපි එකට කෑවා... කෑම බෙදාගන්න හැදිවල සද්දේ හැර හ්ම්ම්ම්ම් සද්දයක් නැහැ... මට දැනුනේ මම මහා අපරාධයක් කලා වගේ.... ආදරේ කරන එක අපරාධයක්ද දෙවියනේ....දෙවියන්ට මගේ හිතුවිලි ඇහුනේ නැහැ...නිහඬ බව ඒ විදියටම තිබුණා.
මම රන්ජිව අයියට මුණ දෙන්න ගියේ නැහැ. වැරද්දක් කරුපු හැගීමකට නෙවෙයි.... මට එයාට කියන්න දෙයක් තිබුනේ නැහැ.... අනිත් එක එයා කියන්නේ මොනවද කියලා මට දැන ගන්න කිසිම උවමනාවකුත් නැහැ. මෙච්චර හරියක් කලේ මට කියලා නෙමෙයිනේ...
උදේ පාන්දර අම්මලා යන්න පිටත් වෙනවා අම්මා නිදාගන්න ආවම කාමරේදී කිව්වා...
අම්මේ මමත් එන්න ඕනෙමද අම්මේ.... මම බොහෝම හිමින් අම්මගෙන් ඇහැව්වා....
දුවේ... අම්මා ආයමත් මට දුවේ කියලා කතා කරනවා.... අම්මා ඉන්නේ අවුලෙන් බව මට එකෙන්ම තේරුණා.
ඔයා බහ තෝරන වයසේදී මුලින්ම කතා කලේ අපිට නොතේරෙන වචන... ඔයා තාත්තට කිව්වේ අප්පා කියලා.... අවුරුදු තුනේදී විතර මම ඔයාගේ අම්මා නෙවෙයි කියලා වෙලාවකට කෑගහලා අඬනවා...දියතලාව ගියාම ඔයා හරි සතුටෙන් හිටියා... තේ වතු අස්සේ රිංගන්නේ පුදුම ආසාවකින් ඔයා... එහෙම වෙලාවට ඔයා කියන්න ගත්තා අපේ ගේ මෙහේ තියෙන්නේ කියලා. අපිට බය හිතුණා නිසා අපි ඔයාව දොස්තර කෙනෙකුට පෙන්නුවා.... කලාතුරකින් කෙනෙක්ට තමන්ගේ පෙර ආත්ම මතකයන් යටිසිතෙන් උඩට එන්න පුළුවන් කියලා දොස්තර කිව්වේ ඒ මතකයන් ලොකු වෙනකොට ඉබේම මැකෙනවා කියලා ..... ලොකු කාලේදී ප්රදබල කම්පනයකින් ඇර ආපහු එන්නේ නැහැ කිව්වා.... අපේ බය නැති කලා. ඔයා ලොකු වෙනකොට ඒ ගතිය ඔයාගෙන් හිමින් නැති වෙලා ගියා... අපිටත් ඒ හැමදේම අමතක වෙලා ගියා.... එත් රන්ජිව මේ තේ වතු අයිතිකාරයෙක් ගැන කියනකොට මට අමුත්තක් දැනුනා.... මම තකහනියක් අවේ එකයි.... මම බයෙන් නොහිතා හිතපු දේ ඔයා මට කිව්වේ....
එත් දැන්... ඔයා ඒ ප්ර බල කම්පනයට මුහුණ දීලා දුවේ... ඔයාගේ පෙර ආත්මේ මතකය ඔයාට ආපහු ඇවිල්ලා....
සෙත් ඔයාගේ ප්රයබල කම්පනය .... ඔයාට සෙත්ව අමතක කරන්න කියලා මේ අම්මට කියන්න බැහැ...එත් දුවේ මේ අම්මා ඔයාගෙන් ඉල්ලනේ... වර්තමානයට එන්න කියලා විතරමයි..... ඔයාට සෙත්ව මුණ ගැසුනේ නැත්නම් දුවේ ඔයා රන්ජිව අයියා නැතත් වෙන කෙනෙකුට ආදරේ කරයි... වෙන කෙනෙක් බඳියි.... තාත්තා මේක හොදින් භාර ගන්න එකක් නැහැ... මට ඊයේ පෙරේදත් කිව්වේ...ඔයා දිගටම ඉගෙන ගන්නේ නැත්නම් රන්ජිව අයියලාගේ අම්මට කතා කරලා වෙඩින් එකට ලෑස්තිවෙන්න කියලා....
තාත්තට විරුද්ධ වෙලා ඔයාගේ පැත්ත ගන්නත් බැහැ.... ඔයාගේ ආදරේ අමතක කරන්න කියලා මට ඉල්ලනත් බැහැ... ඔයාගේ අම්මා යාළුවෙක් වගේ හැමදාම ඔයා ගාව හිටියා ....මට ඔයාව තේරුම් ගන්න පුළුවන්.... මාත් එක්ක හෙට දුව නාවට කමක් නැහැ.... සෙත් එක්ක කතා කරලා ඔය දෙන්න තීරණයක් ගන්න.... සමහරවිට ඔයා දැන් එයාට ගැලපෙන්නේ නැතිවෙන්න පුළුවන්....අවුරුදු 20ක් කියන්නේලෙහෙසි පරතරයක් නෙවෙයි... ඔය දෙන්නගේ අදහස් ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්... ඔය දෙන්නටම බුද්ධිමතව තීරණයක් ගන්න පුළුවන් වෙයි...
මේවා තාත්තගේ කණට යන්න ඉස්සෙලා දුව මට තීරණය කියන්න.... මම වෙනුවෙන් නෙවෙයි තාත්තා වෙනුවෙන් ඔයා දන්නවා ඔයා තාත්තගේ ඇහැ නෙවෙයි ඇස් දෙකම කියලා..... තාත්තා බයිපාස් කරලා මාස හයක් නැහැ දුවේ... මට.....
අම්මට ඉන් එහාට කතා කරන්න බැරිවුණා.... අම්මා හොඳටම අඬන්න ගත්තා....
තාත්තගේ කැමැත්තෙන් තොරව මම කිසිදෙයක් කරන්නේ නැහැ අම්මේ මම... .... අම්මගේ කඳුළු පිහින ගමන් මම පොරොන්දු වුණා.....
අම්මා රන්ජිව අයියට මගේ මේ පෙර ආත්මේ මතකය ගැන කියලා.... එයා ඔක්කොම අහගෙන ඉඳල වචනයක්වත් කථා කරලා නැහැ... අම්මට දුකම එකලු....අම්මා කියන්නේ රන්ජිව අයියත් මට හුඟක් ආදරේ කරනවා කියලා....මම ඒක දන්නවා.... එත් මම කවදාවත් රන්ජිව අයියට ආදරෙයි කියලා ඉගියකින්වත් අනුබලයක් දුන්නේ නැහැ.... මගේ පැත්තෙන් මම නිදහස්.... එත් රන්ජිව අයියා... මට පළමු වතාවට එයා ගැන දුක හිතුණා.... අනේ එත් මම පව් නැද්ද....ඊටත් වඩා මගේ සෙත්.....
සෙත් සෙත් සෙත්.... මගේ හිත ආදරෙන් පිරිලා ....
“මගේ හිත පිරි තිබෙන්නේ ඔබ ගැන සිතුවිල්ලෙන්.... වෙන කිසිවෙකු ගැන හිතන්න හදවතට ඉඩක් නැහනේ....
එතකොට මේ ආදරය කම්පනයක්..... මගේ කම්පනය සෙත්.... මම ආදරෙයි ඒ කම්පනයට.... මට මිදෙන්න බැහැ ඒ කම්පනයෙන් කවදාවත්.... හිතේ වේදනාවක් තිබුනත්... මොකක්දෝ හැංගිච්ච සතුටක් තිබුණා.... මටම හොයා ගන්න බැරි.... සමහර විට රීටා පුන්චිඅම්මා සහ අම්මා දෙන්නම මට යුද්ධ ප්ර්කාශ නොකරපු නිසා වෙන්න ඇති...
අම්මා කිව්ව විදියට අපි දෙන්නා තීරණයක් ගන්න ඕනේ.... ඉස්සෙලා මගේ පැත්තෙන් ඊට පස්සේ සේත්ගේ පැත්තෙන් ඊට පස්සේ අපි දෙන්නම එකතු වෙලා.... සෙත් ගැන මට හිතන දේ මම තනියෙන් හිතුවා.... මම එයාගේ කඩවසම් බවට වශී වුණා නොවේ....එහෙනම් රන්ජිව අයියත් ඊට දෙවෙනි නැහැ.... මට හිතෙන හැගීම මේකයි කියලා මටම හිතාගන්න බැහැ.... සෙත් කියන්නේ මගේ හැම හැගීමකම සංකලනයක් කියලා මට හිතෙනවා..... ඒක හරියට.. හදවතින් පටන්ගෙන ධමනි ශිරා .... කේශ නාලිකා හරහා මුළු සිරුර පුරා දිව ඇදෙන රුධිරය වගේ.... ඒ ආදරය විදීමකින් තොර පැවැත්මක් මට නැති බව මගේ හදවතේ අතුලාන්තයටමදැනුනා... මගේ පැත්තෙන් මම ඒ දීර්ඝ නිදි වර්ජිත රාත්‍රියේ තීරණයක් ගතිමි....
සෙත් එක්ක කතා කරන උවමනාව හිතේ ලොකුවට තිබුණා.... එත් අම්මා කාමරේ හිටිය හින්ද මට ඒ නිදහස ඇහිරුණා... කෙටි පණිවිඩ ගොඩයි මගේ ෆෝන් එකේ...... සේත්ගෙන්.... උදේට හැමදේම කියන්නම්..... කියලා මම සේත්ට සුව නිදක් කියලා පණිවිඩයක් දැම්මා... එතකොටත් වෙලාව එකට විතර ඇති.... සෙත් ගෙන් මට පිළිතුරක් ආවේ මොහොතින්....
එළිවෙන්කම්ම අපි දෙන්න කෙටි පණිවිඩ යැව්වා..... නින්ද ගියේ කීයටද කියලනම් මතක නැහැ....
රන්ජිව අයියා එවලා තිබුණ පණිවිඩේ මම දැක්කේ උදේ.... අම්මලා පිටත් වුණාටත් පස්සේ....
චික් කළින් දැක්කේ නැහැනේ..... මම මටම කියා ගත්තේ තරහින්. ග්ර්ර්ර්ර්

නොනිමි පහලව..... මගේ නෙතු අතර රැඳී හිරු ඔහුම විය.....
කඳු වළල්ලෙන් වටවුණු අපේ පුංචි බංගලාවට.... හිරු එබිලා බැලුවේ හොරෙන් වගේ.....සීතල මීදුම එක්කම හිරු කිරණ වදිනකොට අමුතු සනීපයක් දැනුනා..... තවත් ගුලිවෙලා නිදා ගන්න හිතෙනවා මිසක් නැගිටින්නම් හිතුනේ නැහැ අපි දෙන්නටම.....
එත් හැමදාම මුළින්ම නැගිට්ටේ මම..... අපේ කාමරේම තිබුණා පුංචි තැනක් උදේ තේ එක හදා ගන්න..... තේ කිව්වට අපි දෙන්නම බිව්වේ කෝපි..... කාමර ඉස්සරහා තියන ජනෙල් තිර මෑත් කරාම සෙත්ට තවනම් නිදා ගන්න බැහැ..... හිරු මුණට එබෙනවා..... අපි දෙන්නා ඉදිරියේ හැමදාම මැවුණු සුර පුරය...... දිහා බලාගෙන කෝපි බොන්න අපි පුරුදු වෙලා තිබුණා..... දවසේ තීරණ කතා බස් කලේ ඒ වෙලාවට..... සමහර දවස් වලට..... හ්ම්ම්ම් කියන්නෙවත් නැතිව.... අපි දෙන්නා අවට පරිසරය වින්දා.....
එත් අද මම නැගිටිනකොට.... සෙත් නගිටලත් ඉවරයි.... කෝපි කෝපයක් වෙනුවට මගේ අතට ස්ට්රෝනබෙරි පිරුණු චොකොලට් කේක් එක්ක......
Happy anniversary Nethmi.... happy twentieth anniversary….. Ever since our eyes met…. I was in love with you and you are the reason that I’m happy….
ඔව් අගෝස්තු 14ට අපි බැඳලා අවුරුදු විස්සක්.... එත් හැම දෙයක්ම මගේ හිතේ මැවෙන්නේ අද ඊයේ වගේ..... මමත් සෙත් ට සුබ පැතුවා..... මගේ ජිවිතේ සම්පුර්ණ වුනේ........ මගේ ජිවිතේ ගඟක් වගේ නිසොල්මනේ ගලාගියේ.... සෙත් නිසා.....
Ever since the day our eyes met….. I never had a wish other than making you mine…. You made me complete and I never had a wish thereafter….
මමත් සෙත්ට තෑග්ගක් හංගල තිබුනේ.... ඒ අපේ දුවයි පුතයි.... දෙන්නම හිටියේ වැඩිදුර අධ්යාyපනයට විදේශ ගතවෙලා..... මම ඒ දෙන්නවම හොරෙන්ම ලංකාවට ගෙන්නුවා.....
සෙත්ට දෙන්නව දැකල හරිම සතුටුයි.... ඒ තමයි අපේ පුංචි පවුල.....
රන්ජිව අයියා මට SMS කරලා තිබුනේ..... මම කැමති වුනත් නැතත්.... මට එයාව බඳින්න වෙනවාමයි කියලා..... මම ඒ පණිවුඩය පස්සේ කාලෙක මගේ වාසියට යොදා ගත්තා....
එදා අම්මලා ගිය දවසෙම සෙත් අපේ ගෙදර ආවා.... රීටා පුංචි අම්මා අපිට ගොඩක් උදව් කලා..... තාත්තගේ තීරණය වෙනස් වෙන්න ලොකු බලා පෑමක් කරන්න බැරි වුනත්.... අනිත් නෑයෝ වගේ නැතුව.... අපි දෙන්න ආදරෙන් හැමදාම පිළිගත්තා..... අපි එදාම අපි ගැන ස්ථිර තීරණයකට ආවා... ඒ මට ගෙදරින් අවසර ලැබුණු දවසට විවාහ වෙනවා කියලා.... නැත්නම් ජිවිත කාලෙම යාලුවෝ වගේ ඉන්න...
අම්මට මං ගැන තාත්තට කියන්න ඉස්සෙල්ලා රන්ජිව අයියගේ පැත්තෙන් විවාහය හදිස්සි කලා... රන්ජිව අයියා බැලුවේ තාත්තගේ මාර්ගයෙන් එයාගේ අරමුණ ජය ගන්න.....
අම්මා තාත්තට මගේ රන්ජිව අයියා පිළිබද තියෙන අකමැත්ත කිව්වට තාත්ත තේරුම් ගත්තේ නැහැ.... එයා හිතුවේ රන්ජිව අයියා මට හැම අතින්ම ගැලපෙනවා කියලා....
එත් එක දවසක් මමයි තාත්තයි අතර ලොකු රණ්ඩුවක් ඇතිවුණා.... එදා තමයි මම අර SMS පෙන්නුවේ....
තාත්තා කියන්නේ මට මේවගේ මිනිහෙක් බඳින්න කියලද..... මම තාත්තගේ දුව මගේ හැටි තාත්තා දන්නවා.... මේ වගේ කෙනෙක් එක්ක මට සතුටින් ඉන්න පුළුවන් කියලා තාත්තා හිතනවද....මම මුළු ජිවිත කාලයම නොබැඳ හිටියත් රන්ජිව අයියවනම් බදින්නේ නැ නැ නැමයි....
මම තාත්තගේ කැමැත්ත නැතිව සෙත්ව බඳින්නේ නැහැ.... වෙන කිසිම කෙනෙක් බන්දින්නේත් නැහැ...... අපේ රණ්ඩුව ඉවර වුනේ ඒ විදියට....
ඊට පස්සේ රන්ජිව අයියා එක්ක තිබුණ විවාහ ගිවිසුම අවලංගු වුණා.... එත් සේත්ට අවසරයක් ලැබුනේ නැහැ... තාත්තා මාත් එක්ක කතා කරන එක නතර කලා. අපි අවුරුදු තුනක් එක වචනයක්වත් කතා නොකර අමුත්තෝ වගේ හිටියා.... අපි දෙන්නා නිසා අම්මා අසරණ වුණා..... අන්තිමට තාත්තට අම්මට තියෙන ආදරේ නිසාම මට සෙත්ව විවාහ කර ගන්න අවසර ලැබුණා.
තාත්තා මට අවසරේ දුන්නේ.... මම මගේ දුවට තරමටම දුගේ අම්මට ආදරෙයි.... දුව මගෙන් වෙන් වෙනවට වඩා අම්මා මගෙන් වෙන් වෙයි කියලා මට බයයි..... එදා ඉඳල ඇස් දෙකේ කඳුළු පුරෝවගෙන.....
අපේ නැදැයෝනම් කතා ගොඩක් කියලා තිබුණා...... අපේ අම්මටයි තාත්තටයි පිස්සුලු සෙත් වගේ වයසක කෙනෙක්ට මාව දෙන්න..... ඒ අයගේ දරුවෙක් වුනානම් ගඟක මුහුදක කපලා දැම්මත් හරි හමන් ජාතියක් ජන්මයක් නැති සුද්දෙකුට දරුවා දෙන්නේ නැහැලු... අපේ දීගේ වැඩි කාලයක් තියෙන එකක් නැහැ කියලා ඒක නැන්ද කෙනෙක් කන කපා ගන්නවා කිව්වල්ලු.....ඒ අය දැනගෙන හිටියේ නැහැ සරෝජා ගැන.... දන්නවානම් එකෙත් වැරද්දක් දකියි.... එත් පසුව අපේ නෑයන්ගේ දරුවන් ගොඩක් සේත්ට අයත් ව්යාපාර වල රැකියාව කලා....
තාත්තා සෙත්ව මහා ඉහලින් පිළි නොගත්තත්.... පස්සේ කාලෙක තාත්තා සෙත් ගැන ගොඩක් ආඩම්බර වුණා...
මගේ අයියා විවාහ වෙලා පිටරට පදිංචියට ගියා..... සෙත් තාත්තගේ දෙවෙනි පුතා වුණා.... මගේ අම්මවයි තාත්තවයි... සෙත් ආදරයෙන් බලා ගත්තා.... මම ජීවිතෙන් යමක් ඉල්ලුවානම් ඒ ඉල්ලු සෑම දෙයක්ම මට සෙත් නිසා ලැබුණා. තිබුනේ එකම එක ආත්මයක ප්‍රමාදයක් විතරයි....
අපි ලොකු විවාහ උත්සවයක් ගත්තේ නැහැ.... සේත්ගේ පැත්තෙන් නෑයෝ හිටියේ නැහැ... මගේ අප්පා මුරුගන් තමයි තනි නොතනියට හිටියේ.....
අපේ අම්මා ගාව තිබුණු ඉවසීම නිසාත්.... මගේ තාත්තා අම්මට ආදරය කල නිසා..මට සෙත්ව අයිති වුණා...
අපේ නොනිමි ආදරය ජය ලැබුවා....
ජීවිතය කියන්නේ පුදුමයක් නොවෙයි.... ජීවිතය කියන්නේ පුදුමයට ඉඩදීමක්...... සෙත් සහ නෙත්මි....මුණ ගැසුනේ සසර පුරුද්දෙන්..... ඒ වෙනකොට ඒ දෙන්න අතර තිබුණු බාහිර සමාජ සංස්කෘතික ලක්ෂණ වෙනස් වුනත් ඒ දෙන්නා අතර තිබුණු ආදරය ඒ හැම දෙයක්ම අභිබවා ගියා.... මිනිස් සිත තුල පිළිසිදිය යුත්තේ එකිනෙක කෙරිහි ආදරයක් මිසක මිනිසුන් එකිනෙකාගෙන් වෙන් කරන පටු ලක්ෂණ නොවේ.... ඒ ලක්ෂණ මතින් මිනිසුන් එකිනෙකාගෙන් වෙන් වෙනවානම් වෙන් වෙන්නට කරුණු සොයනවානම් ඔවුන් මිනිසුන් ලෙස අමන්ත්‍රණයට තරම් නොවේ......
මිනිසුන් මිනිසුන්මය....අප සිරුර පුරා දිවෙන රත් පැහැයෙන් ගලා හැලෙන රුධිරය එයට සාක්ෂි දරයි.....
නොනිමි..... නිමි....

හිමාෂි ද සිල්වා....